වසංගතයේ පළමු මාස 6ට වඩා පසුගිය සති දෙක තුළ ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් ජිනීවාහි පැවති ප්රවෘත්ති සාකච්ඡාවේදී පැවසීය.
"වසංගතයේ පළමු මාස 6 තුළ පැවති තත්වයට වඩා පසුගිය සති දෙක තුළ ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයන් වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා. පසුගිය සතියේ ආසාදන සිදුවීම්වලින් අඩකට වඩා ඉන්දියාව සහ බ්‍රසීලය ආශ්‍රිතව වාර්තා වුණා. නමුත් ඉතා අවදානම් තත්ත්වයකට මුහුණදී සිටින තවත් බොහෝ රටවල් ලොව පුරා තිබෙනවා." ටෙඩ්රොස් පැවසීය.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඔක්සිජන් සාන්ද්‍රක වැනි උපකරණ සහ සැපයුම් ඉන්දියාවට ලබාදෙන අතරම රෝගීන් සඳහා රෝහල් ඇඳන් සොයා ගැනීමට නොහැකි පුද්ගලයින් සඳහා නිවසේදී ප්‍රතිකාර ලබා දෙන්නේ කෙසේද යන්න පිළිබඳ උපදෙස් සපයමින් සිටින බවද කියයි. එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය වශයෙන් ඔක්සිජන් හා ඒ ආශ්රිත සැපයුම් සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කරමින් සිටින බවද ඔහු පැවසීය.
මහජන සෞඛ්‍ය ආරක්ෂණ පියවරයන් පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ජාතික උපදෙස් අනුගමනය කරන ලෙස ටෙඩ්රොස් ලොවපුරා සියලු වැසියන්ගෙන් ඉල්ලා සිටියේය.
"වසංගතයේ ආරම්භයේ සිටම ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලා සිටින මේ මහජන සෞඛ්‍ය පූර්වාරක්ෂක විධි අප සියල්ලන්ම අනුගමනය නොකළොත්, ඉන්දියාවේ සහ බ්‍රසීලයේ සිදුවන දේ වෙනත් තැනක සිදුනොවනු ඇතැයි අපට කියන්න බැහැ. එන්නත පිළිතුරේ කොටසක් වන නමුත් එය මේ වසංගතයට එකම පිළිතුර නොවන බව පාලකයන් හා ජනතාව යන සියලු දෙනා අවබෝධ කරගත යුතුයි." ටෙඩ්රොස් වැඩිදුරටත් පැවසීය.