හිටපු ජනාධිපතිවරයාව හමුදා කුමන්ත්රණයකින් නෙරපා හැර මාස කිහිපයකට පසු දේශපාලන අවුල්සහගත තත්ත්වයන් උත්සන්න කරමින්, මාලි රාජ්‍යයේ හමුදා නිලධාරීන් එරට අන්තර්වාර ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ ආරක්ෂක අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන ඇතැයි විදෙස් වාර්තා පවසයි.
මාලි ජනාධිපති බහ් නදව්, අග්‍රාමාත්‍ය මොක්ටාර් ඕවාන් සහ ආරක්ෂක ඇමති සොලෙයිමාන් ඩුකෝර් යන අය අත්අඩංගුවට ගත් එරට හමුදාව, බමාකෝ අගනුවරින් පිටත කැටිහි පිහිටි හමුදා කඳවුරකට ඔවුන්ව රැගෙන ගොස් ඇත්තේ රජයේ අමාත්‍ය මණ්ඩල හා ඉහළ ධුරයන් පිළිබඳ සංශෝධනයකදී හමුදා සාමාජිකයන් දෙදෙනෙකුට සිය ධුරයන් අහිමි වී පැය කිහිපයකට පසුව බවද සඳහන් වෙයි.
හිටපු ජනාධිපති ඊබ්‍රාහිම් බුබකාර් කීටා අගෝස්තු මාසයේදී හමුදාව විසින් නෙරපා හැරීමෙන් පසුව, වත්මන් අන්තර්වාර පාලකයන්වද හමුදාව මෙසේ රඳවා තබා ගැනීම අල් කයිඩාව සහ ඉස්ලාමීය රාජ්‍යයට සම්බන්ධ ප්රචණ්ඩ ඉස්ලාමීය කණ්ඩායම් එරට උතුරේ විශාල ප්‍රදේශ පාලනය කරමින් සිටින බටහිර අප්‍රිකානු රටෙහි දේශපාලන අස්ථාවරත්වය උග්‍ර කළ හැකි බව විචාරකයෝ පවසති.
මාලි රාජ්‍යයේ පවතින මෙම අස්ථාවරත්වය සහ යුද ගැටුම් හේතුවෙන් බටහිර බලවතුන් සහ අසල්වැසි රටවල් දුගී රාජ්‍ය වෙත උදව් කිරීමට සංකීර්ණ උත්සාහයන් ගෙන ඇත්තේ, එහි අස්ථාවරත්වය කලාපීය අනාරක්ෂිතභාවයටද පාර කැපීමක් වන බැවිනි.
නවතම තත්ත්වය හමුවේ මාලි හි එක්සත් ජාතීන්ගේ දූත කණ්ඩායම විසින්, අත්අඩංගුවට ගත් නායකයන් ක්ෂණික හා කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස ඉල්ලා සිටි අතර, නායකයන් රඳවා සිටින අයට ඔවුන්ගේ ක්‍රියාවන්ට පිළිතුරු දිය යුතු බවද අවධාරණය කර තිබේ.