එන්නත් සිද්ධියට රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප මත නිදහස් වී පැමිණි මොරටුව පුරපතිවරයාට දුරකථන ඇමැතුමක් ලබා දී “ දැන් සැපදැයි ” විමසු පුද්ගලයෙකු ඊයේ (17දා) අත්අඩංගුවට ගත් බව මොරටුමුල්ල පොලීසිය කියයි.
තමාට පීඩා ඇතිවන ආකාරයට දුරකථන ඇමතුම් ලබා දෙමින් දැන් සැපදැයි විමසමින් මරණ තර්ජනය කළ බවට මොරටුව පුරපති සමන් ලාල් ප්රනාන්දු මහතා විසින් මොරටුමුල්ල පොලීසියට කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
දුරකථන ඇමතුම ලබා දුන් සැකකරුගේ දුරකථන ඇමතුම් පිළිබඳව වාර්තාවක් ලබා ගැනීමට මොරටු අධිකරණයෙන් අවසර ඉල්ලා ඒ අනුව කළ විමර්ශනවලදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
අධිකරණ අවසරයෙන් ලබා ගත් දුරකථන වාර්තාවන්ට අනුව සැකකරුගේ දුරකථනයෙන් නගරාධිපතිවරයාගේ දුරකථනයට ඇමතතුම් ලබාදී ඇති බවට තහවුරු වු බව පොලීසිය පැවසීය.
සැකකරු රත්මලාන තෙලවල ප්රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන් කරන පොලීසිය මීට පෙර බොරුපන ප්රදේශයේ අනවසර තාප්පයක් ඉවත් කිරිමට ගොස් නගරාධිපති සහ සැකකරු අතර ආරවුලක් ඇති බවට තොරතුරු හෙළි වූ බවද පොලීසිය පැවසීය.
නගරාධිපතිවරයා පවසන පරිදි එකී ආරවුල සම්බන්ධයෙන් මොරටුව මහේස්ත්රාත් අධිකරණයේ නඩුවක්ද විභාග වෙමින් පවතින අතර නගරාධිපතිවරයාට කිසිදු තර්ජනයක් සිදු නොකළ යුතු යැයි එවකට සැකකරුට මහේස්ත්රාත්වරයා විසින් නියෝගයක්ද නිකුත් කර තිබී ඇති බවත් පොලීසිය පැවසීය. සැකකරැ මොරටු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා