මෙරට අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය සහ රැකියා වෙළඳපොළ අතර පවතින නොගැළපීම තුරන් කිරීම සඳහා සුදුසු ම ක්‍රියාමාර්ගය වන්නේ විෂයමාලා යාවත්කාලීන කිරීම්, සැකසීම් සහ සංශෝධනයන් සඳහා පෞද්ගලික අංශයේ ද අදහස් හා යෝජනා පිළිබඳ සලකා බැලීම යි. ඒ නිසා ම ඔවුන්ගේ යෝජනා සහ අදහස් ලිඛිත ව අප වෙත යොමු කරන මෙන් අපි පෞද්ගලික අංශය වෙත දන්වා තිබෙනවා.
ඔවුන් පවසන පරිදි අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය තුළින් මතු නොවන ඉංග්‍රීසි අධ්‍යාපනය, මෘදු කුසලතා ආදිය සංවර්ධනය කළයුතු ආකාරය පිළිබඳ යෝජනා ලිඛිත ව අප වෙත යොමු කිරීම තුළින් ඒ පිළිබඳ දීර්ඝ ව සාකච්ඡා කොට එකී අංශයන්හි වර්ධනය අධ්‍යාපනයේ මෙන් ම උසස් අධ්‍යාපනයේ ද සිදු කිරීමට එයින් අපට අවකාශ ලැබෙනවා යැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් පැවසී ය.
අමාත්‍යවරයා මේ බව පැවසූයේ ඊයේ (24) කොළඹ, සුසමයවර්ධන විද්‍යාලයේ පැවති සුහුරු පන්ති කාමරය නිරීක්ෂණයෙන් අනතුරු ව ය.එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා
මේ රටේ ඇති තරම් රැකියා තිබෙනවා. රැකියා වෙළඳපොළේ රැකියා සඳහා අවශ්‍ය සුදුසුකම් සහිත පුද්ගලයන් අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය තුළින් බිහි නොවීමේ ගැටලුව තමයි මතුවෙලා තිබෙන්නේ. ඒ නිසා ම ඒ ඒ අංශයන් සඳහා අධ්‍යාපන ක්ෂේත්රයේ සහ උසස් අධ්‍යාපන ක්ෂේත්රයේ සිසු සිසුවියන්ගේ වර්ධනය විය යුතු මෘදු කුසලතා, අවශ්‍ය භාෂා කුසලතා පිළිබඳ ලිඛිත ව අප වෙත කරුණු ඉදිරිපත් කරන ලෙස පෞද්ගලික අංශයෙන් අප ඉල්ලා සිටිනවා. එවිට ඔවුන්ගේ අවශ්‍යතාවට ගැළපෙන මානව සම්පත් මෙරට රාජ්‍ය මෙන් ම පෞද්ගලික අංශ වෙත ද ලබා දීමට අපට හැකියාව ලැබේවි.
විශේෂයෙන් ම මේ සුහුරු පන්ති කාමර සකසා දෙමින් සමස්ත ලංකාවේ ම පාසල් තුළ මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන බ්‍රැන්ඩික්ස් ආයතනයට අප රජයක් වශයෙන් මෙන් ම රටේ පුරවැසියෙක් වශයෙන් ද ස්තූතිය පුද කරනවා. ඔවුන් මේ වනවිට පළාත් සභාව යටතේ පවතින පාසල් ගණනාවක විශේෂයෙන් ම උතුර, සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත්වල දුෂ්කර ප්‍රදේශවල මෙම සුහුරු පන්ති කාමර ව්‍යාපෘතිය සිදු කරගෙන යනවා. ඔවුන්ගේ ඉලක්කය වී තිබෙන්නේ 2021වසර වනවිට ළමුන් 10, 00 000ක් (දස ලක්ෂයක්) සඳහා මෙම ව්‍යාපෘතිය මඟින් අධ්‍යාපනය ලබා දීමට යි.
ලංකාවේ සියලු ම පාසල්වලට මෙම පහසුකම් ලබාදීමට අපිට හැකියාව එයින් ලැබෙනවා. එය ඉතා විශාල පිරිවැයක් දරන්නට සිදුවන ව්‍යාපෘතියක්. එවන් ජාතික කටයුත්තක් වෙනුවෙන් සිදු කරනු ලබන දායකත්වය සම්බන්ධයෙන් අපේ ගෞරවය ඔවුන්ට හිමිවෙනවා. එමෙන් ම අධ්‍යාපන අමාත්‍යංශයේ පූර්ණ දායකත්වය ද මේ සඳහා ලබා දෙනවා.” යනුවෙන් ද පැවසී ය.