මොරගහකන්ද ජලාශය හේතුවෙන් නාඋල ප්රාදේශිය ලේකම් කොට්ඨාසට අයත් රජාවෙල ගම්මානයේ පවුල් 300 කට පමණ විධිමත් පරිදි ඉඩම් හෝ වන්දි මුදල් ලබාදී නැතැයි පවසමින් අද (31) එම ගොවීහු නාඋල ප්රාදේශීය ලේකම් කාර්යාලය අසල දී විරෝධතාවයක නිරත විය.
සියයකට ආසන්න ගොවී පවුල් වල පිරිසක් මහනුවර - යාපනය ඒ නවය මාර්ගයේ රථවාහන වලට බාධා ඇති කරමින් පැයකට ආසන්න කාලයක් විරෝධතා පුවරු ප්රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරත විය.
රජාවෙල ගොවීන්ගේ ඉඩම් ගැටලුව වහා විසදනු” ජනපතිදුනි අසාධාරණයට ලක්වු පවුල් වල ගැටලු විසදනු ” ආදි සටන් පාඨ සහිත පුවරු ප්රදර්ශනය කරමින් පැවති උද්ඝෝෂණය නාඋල ජන අයිතීන් සුරැකීමේ සංවිධානය විසින් සංවිධාන කර තිබිණි.
උද්ඝෝෂණය අතරතුර පිරිස ප්රධාන මාර්ගය අවහිර කිරීමට පැමිණීමත් සමග ඊට පොලීසිය මැදිහත් වීම හේතුවෙන් දෙපාර්ශවය අතර උණුසුම් වචන හුවමාරුවක් ද ඇති විය.
පසුව පොලීසියේ මැදිහත් වීම මත රථවාහන ධාවනය යථා තත්ත්වයට පත්වු අතර උද්ඝෝෂකයින්ගේ ඉල්ලීම වූයේ ප්රාදේශීය ලේකම්වරිය සමඟ සිය පිරිසේ දස දෙනෙකුට සාකච්ජාවක් ලබාදෙන ලෙසයි.
ඉන්දික අරුණ කුමාර -නාඋල