එක්සත් ජනපදයේ පසුගිය අගෝස්තු මාසයේ පැවති රිපබ්ලිකන් සම්මේලනය ඇමතීම තුළින්, එරට ෆෙඩරල් නිලධාරීන්ට රාජකාරියේ යෙදී සිටියදී හෝ ෆෙඩරල් ගොඩනැගිල්ල තුළ සිටියදී දේශපාලන කටයුතුවල යෙදීම තහනම් කරන ෆෙඩරල් නීතියක් රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ උල්ලංඝනය කර ඇති බවට විමර්ශන අරඹා තිබේ.
ස්වාධීන ෆෙඩරල් විමර්ශන ආයතනයක් වන විශේෂ නීතිඥ කාර්යාලය, රිපබ්ලිකන් ජාතික සම්මේලනයේදී පොම්පෙඕ කළ කථාව පිළිබඳව මෙන්ම, ඩිමොක්‍රටික්වරුන්ගේ චෝදනාවකට අනුව බදුගෙවන්නන්ගේ අරමුදල් යොදා ගනිමින් අගෝස්තු 25දා ජෙරුසලමේ සංචාරයක් කිරීම පිළිබඳවද පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
ඒ අනුව අනර්ථ ගෙනදෙන දේශපාලන ක්‍රියාවන් වළක්වන එක්සත් ජනපදයේ 1939 දරණ හැච් පනත පොම්පෙඕ උල්ලංඝනය කිරීම පිළිබඳව දෙවැනි විමර්ශනය මෙය වන අතර, ඔහු සිය බිරිඳ සමග එකතුව රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සම්පත් භාවිත කිරීම සහ තීරණ ගැනීමද ඇතුළුව ඔහු සම්බන්ධයෙන් විමර්ශන මීට පෙරද පැවති බව එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කරයි.
එලැඹෙන එක්සත් ජනපද ජනාධිපතිවරණය සමග ඔහු නොවැළැක්විය හැකි ලෙස මැතිවරණ දේශපාලනයට නැවත පැමිණ ඇති බවත්, මයික් පොම්පෙඕ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ බදුගෙවන්නන්ගේ අරමුදල් සහ දේශපාලන අභිලාෂයන් අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් වඩාත් නිර්ලජ්ජිත විය යුතු බවත් ඩිමොක්රටික් නීති සම්පාදකයෝ වැඩිදුරටත් පවසති.