මෙය සදාකාලික සමුගැනීමක් නොවන බවත්, ඔවුන් යම් ආකාරයෙන් නැවත පැමිණෙන අතර, ඉක්මනින් සියලු දෙනා යළි හමුවීමට බලාපොරොත්තු වන බව ධවල මන්දිරයෙන් නික්ම ගිය ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
පසුගිය නොවැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරණ ප්‍රතිඵලයෙන් ජෝ බයිඩන් ජයග්‍රහණය කිරීමෙන් පසුව, එය මැතිවරණ වංචාවකින් සිදුවූ ජයග්‍රහණයක් බව පවසමින්, පසුගියදා කැපිටල් ගොඩනැගිල්ලේ සිදුවූ කෝලාහලය දක්වාම මැතිවරණ ප්‍රතිඵලය පිළිනොගත් ට්‍රම්ප්, යළිත් වටයකට ජනපති සටනකට සූදානම් වන බවට වූ ඉඟියක් ඔහු නික්ම යමින් පැවසූ වචන කිහිපයේ ගැබ්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
තම නිවස ලෙස සලකන ධවල මන්දිරයේ රැඳී සිටිමින් වසර හතරකට ආසන්න කාලයක් කටයුතු කිරීමට ලැබීම මහත් ගෞරවයක් බව වැඩිදුරටත් පැවසූ ට්‍රම්ප් සිය බිරිඳ වූ මෙලානියා සමග මැරීන් වන් හෙලිකොප්ටරයට නැගී නික්ම ගියේය.
කෙසේ වෙතත් ට්‍රම්ප් පවසන පරිදි ඔහු මෙම කාලය තුළ සුවිශේෂී ඉදිරි පියවර රැසක් ඇමෙරිකාව වෙත ලබාදුන් බව පැවසුවත්, ඔහු නික්ම යනවිට කොරෝනා වසංගතයේ ඇමෙරිකානු මරණ සංඛ්‍යාව 400,000ක් ඉක්මවා ඇති අතර, ඇමෙරිකාව පෙර නොවූ විරූ ආකාරයෙන් බෙදී වෙන්වී ගිය ජාතියක් බවට පත්ව අවසන්ය.