මන්නාරම, පැරණි සතොස ගොඩනැගිල්ල පැවති ස්ථානයේ සමූහ මිනීවළෙන් මේ දක්වා සිදුකළ කැණීම්වලින් මිනිස් සිරුරු 60කට අයත් අස්ථි හමුවී ඇති අතර එහිදී දරුවෙකුගේ හා වැඩිහිටි පුද්ගලයෙකුගේ අස්ථි කොටස් එක ළඟ තිබී ඊයේ (30දා) හමු වී තිබේ.
අදාළ අස්ථි කොටස් දරුවෙකුගේ හා මවකගේද යන්න සම්බන්ධයෙන් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවත් දරුවෙකුගේ හා වැඩිහිටි පුද්ගලයෙකුගේ අස්ථි කොටස් එලෙස එක ළඟ තිබී සොයා ගැනීමට හැකිවූ බවත් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්. රාජපක්ෂ මහතා පවසයි.
සමූහ මිනීවළෙන් මේ දක්වා සොයාගත් අස්ථි කොටස්වලින් මිනිස් සිරුරු 40 කට අදාළ කොටස් කැණීම් මඟින් ඉවත් කර ගැනීමට හැකිවී ඇති අතර, එලෙස ඉවත් කරගත් අස්ථි කොටස් ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ පිහිටි කාබන් පරීක්ෂා කිරීමේ රසායනාගාර වෙත යොමු කිරීමට අධිකරණ අමාත්‍යාංශය හරහා ඉල්ලීම් කොට ඇති බවද රාජපක්ෂ මහතා සඳහන් කළේය.
පුරාවිද්‍යා නිලධාරීන්, රජයේ රස පරීක්ෂක නිලධාරීන්, අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ මෙහෙයවීම යටතේ හේ වන විට දින 43 ක කාලයක සිට අදාළ ස්ථානයේ පරීක්ෂණ පවත්වා ඇති අතර, එහිදී මිනිස් සිරුරු 60 කට අදාළ හිස් කබල් කොටස් හා තවත් අස්ථි කොටස් සොයාගෙන තිබේ.
මේ පිළිබඳ අදහස් දක්වන කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය රාජ් සෝමදේව මහතා, අදාළ අස්ථි කොටස්හි කාල නිර්ණයක් සිදුකර නොමැති බවත් එම සිරුරු ඇතැම් ස්ථානවල අක්රමවත්වද තවත් තැනක ක්රමවත්වද තබා ඇති බවත් පැවසීය.




