මන්නාරම් සමූහ මිණීවලේ පසුගිය දෙසැම්බර් 21 වනදා සිට තාවකාලිකව නවතා තිබූ කැනීම් කටයුතු අද (02) දින යළි ආරම්භ කිරීමට පියවර ගෙන ඇති අතර කැනීම් සිදු කෙරෙන මිණිවල අද දිනයේ සිට පුළුල් කිරීමට පියවර ගෙන ඇති බවට කැනීම් කටයුතු භාර විශේෂඥ අධිකරණ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.
මේ අනුව 122 වන දිනට කැනීම් කටයුතු අද දිනයේදී ආරම්භ කොට ඇති අතර අද දිනයේදී සහ ඉදිරි දින කිහිපය තුළ පළමුව සමූහ මිණීවල වටා ඉදිකොට ඇති ආරක්ෂිත වැට ඉවත් කොට ආවරණය ඉවත් කිරීමේ කටයුතු සිදු කෙරෙන බවට විශේෂඥ අධිකරණ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ කියා සිටියේ,
‘‘ මන්නාරම් සමූහ මිණිවලේ අයින්වල මතුකරගෙන ඇති ඇටසැකිලි ඉවත් කිරීමට යාමේදී හානි විය හැකියි ඒ නිසා අපි තීරණය කලා මේ වල පුලුල් කරන්න ඕන කියලා ඒ අනුව ප්‍රධාන පාර දෙසටත් අතුරු මාර්ගයක් පිහිටි දෙසටත් අපි පුලුල් කරන්න පියවර ගත්තා ඒ අනුව මීටර් දෙකක් පමණ අපි මේ වල පුලුල් කරනවා ඒකට හේතුව මේ වලේ මායිමෙත් සිරුරු කොටස් තියෙන නිසා එහාටත් ඇති කියල හිතනවා අපිට පරික්ෂණ කටයුතු නවත්වන්න වෙන්නේ සම්පූරණයෙන්ම අවසන් වන මායිමක් දක්වා යන්න ඕන.
‘ඒනිසා අද අපි පස්කලන යන්ත්‍රයක් දාලා මගේ නිරීක්ෂණයෙන් පුලුල් කරන ප්‍රදේශයේ උඩ පස් ඉවත් කරලා ඉතිරි ප්‍රමාණය සාමාන්‍ය පරිදි කැනීම් සිදුකරගෙන යන්න සූදානමින් ඉන්නවා.යනුවෙනි