පසුගිය වසරේදී ලෝක සාගින්න හා මන්දපෝෂණ මට්ටම කැපී පෙනෙන ලෙස නරක අතට හැරී ඇති අතර, කොවිඩ්-19 වසංගතය මෙම වැඩිවීම කෙරෙහි බලපෑමක් කර ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවක් පෙන්වා දෙයි.
වසර පහක් පුරා නොවෙනස්ව සිටීමෙන් පසු, මන්දපෝෂණයෙන් පෙළෙන පුද්ගලයින්ගේ සංඛ්‍යාව පසුගිය වසරේ මිලියන 768ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය ලෝක ජනගහනයෙන් 10%කට සමාන වෙයි. මෙය 2019 ට සාපේක්ෂව මිලියන 118ක වැඩිවීමක් පෙන්නුම් කරයි.
ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO), ලෝක ආහාර වැඩසටහන (WFP) සහ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ඇතුළු එක්සත් ජාතීන්ගේ ආයතන විසින් රචිත මෙම වාර්තාව වසංගතය මතුවීමෙන් පසු ආහාර අනාරක්ෂිතතාව සහ පෝෂණය පිළිබඳ අනාවරණයක් සිදුකළ පළමු වැනි පුළුල් තක්සේරුව ලෙස සැලකෙයි.
"අවාසනාවකට මෙන්, වසංගතය අපගේ ආහාර පද්ධතියේ දුර්වලතා දිගින් දිගටම හෙළි කර තිබෙනවා. එය ජීවිත හා ජීවනෝපායන්වලට තර්ජනයක් වෙලා. ලෝකයේ කිසිදු කලාපයක් ඉන් බේරී නැහැ" එක්සත් ජාතීන්ගේ සංවිධානය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.