චීනය සහ මධ්‍යම ආසියානු සහයෝගීතාවය හරහා නව අපේක්ෂාවන් විවෘත වන වේදිකාවක් නිර්මාණය කිරීමට මධ්‍යම ආසියා සමුළුවට හැකි වූ බව චීන ජනාධිපති ෂී ජිංපිං මහතා පැවසීය.
ඔහු පැවසුවේ චීන-මධ්‍යම ආසියා සහයෝගීතාවයෙන් යහපත් සැලසුම්, සංවර්ධනය සහ ප්‍රගතිය සඳහා සියලු පාර්ශ්ව සමඟ සම්බන්ධීකරණය වේගවත් කිරීමට චීනය මෙය අවස්ථාවක් කර ගනු ඇති බවයි.
ඒ අනුව විද්‍යාව හා තාක්ෂණය තුළින් දරිද්‍රතාවය අවම කිරීම සඳහා චීන-මධ්‍යම ආසියා විශේෂ සහයෝගීතා වැඩසටහනක් චීනය විසින් සකස් කරනු ඇති බවත්, “චීන-මධ්‍යම ආසියා තාක්ෂණ හා කුසලතා වැඩිදියුණු කිරීමේ යෝජනා ක්‍රමය” ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ඇති බවත් ඔහු කීවේය.
මධ්‍යම ආසියානු සංවර්ධන කටයුතු වෙනුවෙන් මධ්‍යම ආසියානු රටවලට යුවාන් බිලියන 26 ක මූල්‍ය ආධාරයක් ප්රදානය කිරීමට නියමිත බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
අනොන්‍ය සහය, පොදු සංවර්ධනය, විශ්ව ආරක්ෂාව සහ සදාකාලික මිත්‍රත්වය සමඟ සහයෝගීතාවය වර්ධනය වූ අනාගතයක් වෙනුවෙන් චීනය මධ්‍යම ආසියා ප්‍රජාව සමඟ එකට කටයුතු කරන බව චීන ජනාධිපති ෂී ජිංපිං මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ මධ්‍යම ආසියා සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කරමිනි. සමුළුව චීනයේ ෂාංශී ප්‍රාන්තයේ ෂියෑන් හිදී පැවැත්විය.
"පළමුව, අපි ආයතනික ගොඩනැගීම ශක්තිමත් කළ යුතුයි. විදේශ කටයුතු, ආර්ථිකය, වෙළඳාම සහ රේගුව පිළිබඳ රැස්වීම් යාන්ත්‍රණයන් මෙන්ම ව්‍යාපාරික කවුන්සිලයක් ද අපි පිහිටුවා ඇත. කර්මාන්ත හා ආයෝජන, කෘෂිකර්මාන්තය, ප්‍රවාහනය, හදිසි ප්‍රතිචාර, අධ්‍යාපනය සහ දේශපාලන පක්ෂ පිළිබඳ රැස්වීම් සහ සංවාද යාන්ත්‍රණයන් පිහිටුවීමට චීනය යෝජනා කර ඇති අතර, ඒවා අපගේ රටවල් අතර අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් සහයෝගීතාව සඳහා වේදිකාවක් වනු ඇත." යනුවෙන් ඔහු පැවසුවේය.
මෙලෙස චීන ජනාධිපතිවරයා විසින් චීනය සහ මධ්‍යම ආසියාව අතර සිදු කිරීමට නියමිත වැඩ පිළිවෙල පිළිබඳව කරුණු 8ක් ඉදිරිපත් කළේය.
ආසියානු කලාපයේ සාමය ආරක්ෂා කළ යුතු බවත්, මධ්‍යම ආසියාතික රටවල නීතිය ක්‍රියාත්මක කිරීම, ආරක්ෂාව සහ ත්රස්තවාදයට එරෙහිව සටන් කිරීමටත්, කලාපයේ රටවල ස්වාධීන උත්සාහයන්ට සහාය වීමටත්, සයිබර් ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීමට එම රටවල් සමඟ කටයුතු කිරීමටත් චීනය සූදානම් යැයි ද ඔහු කීවේය. ඇෆ්ගනිස්ථානය සහ අසල්වැසි රටවල් අතර සම්බන්ධීකරණ යාන්ත්‍රණය ප්‍රයෝජනයට ගනිමින් ඇෆ්ගනිස්ථානයේ සාමය සහ ප්‍රතිසංස්කරණ ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
සමුළුව සඳහා මධ්‍යම ආසියා රටවල ජනාධිපතිවරුන් සහභාගි වී සිටියහ. සමුළුවෙන් පසු චීන ජනාධිපතිවරයා සමඟ රටවල් 5හි ජනාධිපතිවරුන් මාධ්‍ය හමුවකටද එක්විය.මීලඟ මධ්‍යම ආසියා සමුළුව කසකස්ථානයේ දී 2025 වසරේ පැවැත්වීමට නියමිතය.
නවෝද්‍යා පවනි (චීනයේ සිට)
