මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත - මීරිගම කොටසත් පොතුහැර - ගලගෙදර කොටසත් 2024 වර්ෂයේ දී ජනතා අයිතියට පත්කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියරවන මීරිගම සිට කුරුණෑගල දක්වා කිලෝමීටර් 40.91ක් දුරැති “ඇතුගල්පුර පිවිසුම” ජනතා අයිතියට පත්කිරීමට සමඟාමීව යග්ගපිටියේ පැවති උත්සවයට එක්වෙමින් ඊයේ (15) පස්වරුවේ අග්‍රාමාත්‍යවරයා මේ බව හෙළි කළේය.
ඇතුගල්පුර පිවිසුම විවෘත කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මීරිගම අධිවේගී මාර්ග පිවිසුමේ ඉදි කළ සමරු ඵලකය නිරාවරණය කොට පීත්ත පටිය කපා විවෘත කිරීම සංකේතවත් කළහ.
“ 2014 වර්ෂයේ දී තමයි අපි උතුරු මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ ආරම්භ කළේ. එඩේරමුල්ල ඉඳලා දඹුල්ලටත්, කුරුණෑගල ඉඳලා මහනුවරටත් අධිවේගී මාර්ගවල වැඩ 2018 වර්ෂයේදී අවසන් කරන්නත් සැලසුම් කළා.
අධිවේගී මාර්ග තරම් එදා ඉඳන් විවේචනයට ලක්වුණ මොනම ව්‍යාපෘතියක්වත් මේ රටේ නැතිව ඇති. විවේචනය කරන අය එන්නෙත් යන්නෙත් විවේචනය කරන අධිවේගී මාර්ගයේම යන ගමන් තමයි ඕවා කියන්නේ. මට මතකයි ඒ කාලේ කියනවා මේ අධිවේගී මාර්ගය හදන්න ගිය වියදමෙන් රත්තරන් වලින් කාපට් දාන්න පුළුවන් කියලා. 2015 දි ආණ්ඩුව පෙරලන්න කතා කර කර ගියෙත් මේ අධිවේගී මාර්ගවල බව අපි දන්නවා.
ඒ වුනාට 2015 න් පස්සේ අඩුම තරමෙ කඩවත - මීරිගම කිලෝමීටර් 37 හදන්න අතවත් තිබ්බෙ නෑ. යහපාලන ආණ්ඩුව අඩුම තරමේ ඒ කොටසේ වත් වැඩ ටික ඉවර කරල තිබ්බනම් අද මේ විවෘත කරන කොටසත් එක්කම තමුන්නාන්සේලාට කඩවත ඉදලම කුරුණෑගල දක්වාම අධිවේගී මාර්ගය භාවිතා කරන්න පුළුවන්කම තිබුණු බව කියන්න ඕනෙ. ආයෙත් අපි ඇවිල්ලා තමයි වැඩ පටන් ගත්තේ. කඩවත - මීරිගම කොටසත් 2024 දී වැඩ අවසන් කරන්න මේ වන විට අපි සැළසුම් කරලා තියෙනවා."
