මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ සිරකර තැබීම සඳහා පැහැරගෙන කුමන්ත්‍රණය කළ බවට චෝදනා ලැබ සිටින යුද හමුදා ලූතිනන් කර්නල්වරුන් දෙදෙනෙකු ඇතුළු හමුදා බුද්ධි නිලධාරීන් 07දෙනාට එරෙහි නඩුව විභාග කරන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලට දැනුම් දීමකින් තොරව කිසිදු කොමිසමක් හමුවේ පෙනී නොසිටින නියෝගයක් කර තිබුණද මෙම නඩුවේ සාක්කිකරු දේශපාලන පළිගැනීම් කොමිසම හමුවේ පෙනී සිට සාක්කි ලබාදී ඇති බව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (22) හෙළි විය.
මේ සම්බන්ධයෙන් නීතීපතිවරයාගේ ස්ථාවරය දැනුම්දීම සදහා කල් ලබාදෙන ලෙස පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරීස් මහතා කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරු මඩුල්ල අද (22) දිනයට නියම වී තිබු නඩුවේ සාක්කි විභාගය කල් තබා මෙම නඩුව ලබන 29 වැනිදා යළි කැදවීමටද නියම කළේය.
සම්පත් අබේකෝන් (සභාපති) සම්පත් විජේරත්න සහ ගිහාන් කුලතුංග මහත්වරුන්ගෙන් සමන්විත විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය.
මෙම නඩුවේ සාක්කි විමසීම සදහා කැදවනු ලැබු අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරීස් මහතා අධිකරණය අමතමින් මෙම නඩුවේ පැමිණිල්ලේ 03 වැනි සාක්කිකරු වන ජේ.එම්. රන්බණ්ඩා නමැත්තා මෙම අධිකරණයේ පෙනී සිටි පසුගිය අවස්ථාවේදී මෙම නඩුවේ සාක්කි අවසන් වනතුරු ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ අභියාචනාධිකරණයේ හැර වෙනත් කිසිදු විනිශ්ච ආයතනයකට ගොස් සාක්කි දීමෙන් වළකින ලෙස විනිසුරු මඩුල්ල සාක්කිකරුට තරයේ අවවාද කළ බව පෙන්වා දුන්නේය.
එහෙත් ඔහු එම අධිකරණ නියෝගය දුන් දිනට පසුදින දේශපාලන පළිගැනීම් කොමිසම හමුවේ පෙනී සිට සාක්කි ලබාදී ඇතැයි දැනුම් දුන්නේය.
ජේ.එම්. රන්බණ්ඩා නමැති සාක්කිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අශෝක වීරසුරිය මහතාගේ මෙහෙයවීම යටතේ සාක්කි දෙමින් දේශපාලන පළිගැනීම් කොමිසමේ සිදුවු සිද්ධිය විස්තර කරමින් පසුගිය 17 වැනිදා මෙම උසාවියේ පෙනී සිටි අවස්ථාවේදී මෙම නඩුවේ සාක්කි විභාගය අවසන් වනතුරු ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ අභියාචනාධිකරණයේ හැර වෙනත් කිසිදු විනිශ්ච ආයතනයකට ගොස් සාක්කි දීමෙන් වළකින ලෙස විනිසුරු මඩුල්ල තමන්ට දැනුම් දුන් බවත් අධිකරණ රුපියල් ලක්ෂ 10 ක බැදුම්කරයක් මත තමා මුදාහැරීමටද නියම කළ බවත් දැනුම් දුන්නේය.