රටේ ජාතික ආරක්ෂාව අනතුරේ හෙළා, ජනතාව මහ බලවතුන්ගේ යුදමය ගැටුම්වල ගොදුරු කරමින් මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට විකිණීම ඉන්දු - ලංකා ගිවිසුමටත් වඩා භයානක පාවාදීමක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා පවසයි.
එම දිනය පැමිණෙන තෙක් බලා නොසිට මෙම පාවාදීම වැළැක්වීම සඳහා සමස්ත ජාතියම නැගීසිටිය යුතු බව නිවේදනයක් නිකුත් කරමින් මන්ත්රිවරයා සඳහන් කරයි.
මත්තල ගුවන්තොටුපළ සඳහා දැනට ලබාදී ඇති අක්කර 1600ට අමතරව එම ගුවන් තොටුපළ මිලදී ගැනීමට ඉදිරිපත් වී සිටින ඉන්දීය සමාගමට තවත් අක්කර 24000ක් ලබාදීමටත්,ආරක්ෂිත කලාපයක් ලෙස ගුවන්තොටුපළ ආශ්රිත අක්කර 40,000ක භූමිභාගයක් වෙන්කර දීමටත් ශ්රී ලංකාවේ රජය එකඟවී තිබෙන බවද වීරවංශ මහතා ප්රකාශ කරයි.
මුහුදු වෙරළ දක්වා විහිදෙන එම කලාපයට අදාළ මැනුම් කටයුතු හෙවත් සිතියම් සකස් කිරීමේ කටයුතු ඇමෙරිකානු නාවික හමුදාවේ ගුවන් පින්තුර ආශ්රිත තෙරතුරු යොදා ගනිමින් පෞද්ගලික සමාගමක් විසින් සිදු කෙරෙන බවට තොරතුරු වාර්තා වන බවද ඒ මහතා සඳහන් කරයි.
මත්තල ඉන්දියාවට පවරා දීමේ ගිවිසුම බදු ගිවිසුමක් ලෙස හැඳින්වුවද එය වසර 99 දක්වා දිගුවක් බැවින් නීතිමය සහ ප්රායෝගික තත්ත්වය විකුණා දැමීමකට සමාන වන බවත්, චීනයට බදුදී ඇති වරායට කිලෝමීටර් දෙකහමාරක් දුරින් ඉන්දියානු ඔත්තුසේවා විසින් මෙහෙයවන ගුවන්තොටුපළක් තිබීමෙන් රටට සිදුවන ආර්ථික පාඩුවට වඩා බරපතළ දේශපාලන සහ යුදමය ගැටලුකාරී තත්ත්වයක් පැනනගින බවත් වීරවංශ මහතා පෙන්වා දෙයි.
