නව කොරෝනා හෙවත් කොවිඩ්-19 වෛරසයට එරෙහි 94.5%ක ඵලදායීතාවක් සහිත තවත් එන්නතක් එක්සත් ජනදයෙන් වාර්තා වන අතර, එය නිපදවා ඇත්තේ වෛරසයට එරෙහි එන්නතක් නිපදවීමේ තරගයේ මුල සිටම යෙදී සිටි මොඩර්නා සමාගම විසිනි.
පසුගිය සතියේදී ජර්මනියේ බයෝ එන්ටෙක් සමාගම සමග එක්ව ඇමෙරිකානු ෆයිසර් සමාගම නිපදවූ එන්නත 90%ක ඵලදායීතාවක් පෙන්වන බව නිවේදනය කිරීමෙන් පසුව ලැබුණු මෙම පුවත වසංගතය පිටුදැකීමේ සිහින දකින බොහෝ දෙනෙකුට සුබවාදී පණිවුඩයක් වී ඇත.
ඒ අනුව මෙම එන්නත් දෙකෙහි සමාන ආරක්ෂණ හා කාර්යක්ෂමතා පැතිකඩ ඇති බව පෙනෙන්නට තිබුණද, මොඩර්නා එන්නත ෆයිසර් එන්නතට වඩා සැලකිය යුතු ප්‍රායෝගික වාසියක් ඇති එන්නතක් බව කියයි.
ෆයිසර් එන්නත සෙල්සියස් අංශක සෘණ 75ක් හෝ 103ක් අතර සිසිල් උෂ්ණත්වයක ගබඩා කර තැබිය යුතුය. එක්සත් ජනපදයේ වෙනත් කිසිදු එන්නතක් මීට පෙර එතරම් සිසිලසක තබා නොගෙන ඇති නිසා ඒවා ගබඩා කිරීම සඳහා රෝහල්වල හෝ ඔසුසැල් තුළ පහසුකම් නොවන බව කියැවෙයි.
නමුත් මොඩර්නා එන්නත සෙල්සියස් අංශක සෘණ 20ක පමණ උෂ්ණත්ව මට්ටමක තබා ගත හැකි අතර, එය ෆැරන්හයිට් අංශක 4ක් පමණ වේ. පැපොල සඳහා ලබාදෙන එන්නත වැනි වෙනත් එන්නත් එම උෂ්ණත්වයේ තබා ගත යුතුය.
ඒ අනුව මොඩර්නා එන්නත බොහෝ රෝහල් වෙත සහ ඔසුසැල්වල පහසුවෙන් ශීතකරණයක ගබඩා කර තබා ගත හැකි බව මොඩර්නා හි ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය ටාල් සැක්ස් පැවසීය. ඔහු කියා සිටියේ වෙනත් එන්නත් සඳහා දැනටමත් පවතින යටිතල පහසුකම් මේ එන්නත සඳහාද භාවිත කළ හැකි බවය.
මොඩර්නා එන්නතෙහි ඇති තවත් වාසියක් නම් එය දින 30ක් ශීතකරණයේ තබා ගත හැකි බවද සමාගම සඳුදා නිවේදනය කළේය. ෆයිසර් එන්නත ශීතකරණය තුළ පැවතිය හැක්කේ දින 5ක් පමණි.