මාතර ස්වරණාභරණ ආයතනයක් මංකොල්ල කෑමට පැමිණි පුද්ගලයන් සතුව තිබූ ප්‍රභූවරුන්ට පමණක් නිකුත් කරන ගිනිඅවිය පිළිබඳ හෙළිදරව් වීම සම්බන්ධව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පමණක් කලබල වී තිබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා අද (28දා) පැවසීය.
ඒකාබද්ධ විපක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන් විසින් බොරැල්ල ඇන්.ඇම්.පෙරේරා කේන්ද්‍රයේ පැවැත් වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
මෙම ගිනිඅවිය අයිති ප්රභූවරයා කවුරුන්ද යන්න සහ මංගල සමරවීර මහතාගේ හැසිරීම සම්බන්ධව රජය වහාම පරික්ෂණයක් ආරම්භ කළ යුතු බවද ඒ මහතා මෙහිදී පවසා සිටියේය.
මාතර සිද්ධියට ප්‍රභූ ගිනිඅවියක් යොදාගෙන තිබීම පිළිබඳ කාරණය වසන් කිරීමට ආණ්ඩුව උත්සහ ගනිමින් සිටින බවත්, මෙම සිද්ධියේදී පාතාල නායකයෙකු මිය යෑම සම්බන්ධව මංගල සමරවීර මහතා පොලීසියට දෝෂාරෝපණය කර තිබුණු බවත් හෙතෙම මෙහිදී පවසා සිටියේය.
මේ වසරේ ජුනි 19 සිට 26 වැනිදා දක්වා සතියක කාලයක් තුළදී රටතුළ මිනිමැරුම් 15ක් වාර්තා වූ බවත්, මේ ආකාරයට පැතිර යන පාතාලය මර්ධනය කිරීමට රජයට උනන්දුවක් නොමැති බවත් සේමසිංහ මහතා මෙහිදී කියා සිටියේය.
බුද්ධි අංශ නිලධාරින් සිරගත කර එම නිලධාරීන්ගේ චිත්ත ධෛර්යය බිඳදැමීම පාතාලය වර්ධනය වීමට බලපා තිබෙන බවද මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
