1994 ඉඳන් මේ රටේ ජනාධිපතිවරු හදලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවත් ඒ වගේම නොවැම්බර් මාසේ 16 වැනිදා ගෝඨාභය රාජපක්ෂ මහතාව ජනාධිපති කරවන්නෙත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ කතිරයෙන් යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, අනුරාධපුර නාච්චාදූව ප්‍රදේශයේ පැවති ජන හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
“මේ ජනාධිපතිවරණ සමයේ ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයෝ 04 දෙනෙක් අපිට පේනවා. ගොඨාභය රාජපක්ෂ මහතා, සජිත් ප්‍රේමදාස මහතා, අනුරකුමාර දිසානායක මහතා ඉන්නවා. ඒ වගේම, අපේ හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතාත් ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපි මුලින්ම කල්පනා කළා , අනුර කුමාර මහත්තයයි, මහේෂ් සේනානායක මහත්තයයි දෙන්නා පැත්තකින් තියමු කියලා. ඒ මොකද? අපි මේ තෝරන්න යන්නේ රටේ ජනාධිපතිවරයා මිසක් හොඳම කථාව කියන කෙනාවත්,හොඳම අදහස තියෙන කෙනාවත් නෙමෙයි.
අපිට අවශ්‍යයි මේ රටේ සියලු පුරවැසියෝ එකට එකතු වෙලා රටේ නායකයා තෝරනවා දකින්න. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණට හෝ එහෙමත් නැතිනම් ස්වාධීනව මතයක් දරන්න ඉන්න සියලු දෙනාගෙන්ම අපි ඉල්ලීමක් කරනවා මේ වෙලාවේ හරියට හිටගන්න. ජයග්‍රහණය තුළ පමණයි දෙන පොරොන්දු වල වටිනාකමක් තියෙන්නේ. ජයග්‍රහණයක් නොමැති තැන දෙන පොරොන්දු වලංගු වෙන්නේ නෑ. රට හදන්න නම්, රට වෙනසකට ගෙන යන්න නම් ජයග්‍රහණය තුළින් පමණයි හැකි වෙන්නේ. එහෙම නම් ජයග්‍රහාහී අපේක්ෂකයා වටා එකතු වනවාට වඩා වෙන කෙනෙක්ට එකතු වෙලා තමන්ගේ ඡන්ද නාස්ති කරන්න එපා කියලා මම ඉල්ලීමක් කරනවා.
ඒ ඡන්දය පාර්ලිමේන්තු,පළාත් සභා, ප්‍රාදේශීය සභා මැතිවරණයේදී කමක් නෑ, තමන්ගේ කෙනෙක් පත් කර ගන්න පුළුවන්.හැබැයි රටේ නායකයා තෝරන මැතිවරණයේදී මේ එක් කෝටි පනස් නව ලක්ෂයක් ඡන්ද දායකයන්ගේ සියලුම ඡන්ද වලට වටිනාකමක් තියෙනවා.මේ රටේ සියලු දෙනාම බලාගෙන ඉන්නවා රටේ නිවැරදිම නායකයා තෝරා ගන්න තමන් කොහොමද ඡන්දය භාවිතා කරන්නේ කියලා. ඒ නිසා ගගට කැපුව ඉනි ටික වගේ ඡන්ද නාස්ති කරන්න එපා කියලා අපි ඉල්ලීමක් කරනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනුර කුමාර දිසානායක මහත්තයත්, මහේෂ් සේනානායක මහත්තයත් ඒ නිසා පැත්තකින් තිබ්බා. ඊළගට ඉන්නවා සජිත් ප්‍රේමදාස මහත්තයා. එතුමා එක්ක අපි යහපාලන ආණ්ඩුවේ කටයුතු කළා අවුරුදු ගණනාවක්. අපි එකට වැඩ කළා. එකට ඇමතිකම් කළා. අදටත් අපේ පක්ෂයේ නායකතුමා මේ රටේ රාජ්‍යය නායකයා. ආණ්ඩුවේ නායකයා. හැබැයි අපි දැක්කා මේ ප්‍රධාන පක්ෂ දෙක එකට එකතු වෙලා යනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයත් කියන පක්ෂ දෙකෙහි මතවාදයන් දෙකක්. චින්තනයන් දෙකක්, වැඩපිළිවෙලවල් දෙකක් කොච්චර අපි එකතු වෙලා හිටියත් ඒ ගමන යන්න අමාරුයි කියන කාරණාව අපිට තේරුණා. ඒ නිසා තමයි අපි ආණ්ඩුවෙන් ඉවත් වෙලා විපක්ෂයට ආවේ. ඒ නිසා සජිත් ප්‍රේමදාස මහත්තයා එක්කත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගමනක් නෑ.
ඊළගට අපිට ඉන්නවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. එතුමා එක්කත් අපිට පහුගිය කාලයේ ප්‍රශ්න තිබුණා. ඒ පක්ෂයත් එක්කත් අපිට ප්‍රශ්න තිබුණා. ඒ නිසා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී වෙනම ගමනක් යනවා, පොහොට්ටුව වෙනම ගමනක් යනවා අපි වෙනම මතවාදයන් දරනවා, වෙනම අපේක්ෂකයන් දානවා. මැතිවරණයේදී කට්ටියක් දිනනවා, කට්ටියක් පරදිනවා. පහුගිය කාලයේ අපි පක්ෂ දෙකක් විදිහට හැසිරිලා තියෙනවා. එහෙම නම් අපි කොහොමද දැන් මේ පක්ෂයත් එක්කත් එකතු වෙන්නේ. ඒ නිසා තමයි අපි සාකච්ජා පැවැත්වූවේ, දීර්ඝ කාලයක් සාකච්ජා කළේ.
කලින් හිටිය නායකයෝ ටික වුණාට දැන් පක්ෂ දෙකක්. පුද්ගලයෝ එකයි හැබැයි පක්ෂ දෙකකට බෙදිලා තමයි අපි දැන් කටයුතු කරන්නේ. එහෙම නම් අපි කොහොමද එකතු වෙන්නේ මේ තැනේදී. අපි සියලු දෙනාගේ වැරදි ටික, නරක ටික පැත්තකින් තියලා වර්තමානයේ තියෙන හොඳ ටික ඉස්සරහට අරන් යන්න, මේ රටේ අනාගත තරුණ පරපුර, නූපන් දරුවා බලාපොරොත්තු වෙන තැනට මේ රට ගෙනයන්න නම් අපි කොහොමද මැද තැනකට එන්නේ. ඒ මැද වෙනුවෙන් තමයි අපි සාකච්ජා කළේ. අපි හැමෝගෙම හොඳ තියෙනවා, නරක තියෙනවා. ඒ නරක ටික පැත්තකින් තියලා වර්තමානයේ හොඳ ටික ඉස්සරහට ගෙනයන්නත්, අනාගතයේදී මේ රට නිවැරදි තැනක තියන්නත් අපිට කැපවිම් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වෙනුවෙන් පක්ෂ දෙකම තම තමන්ගේ කැපවීම් කරලා අද අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා එක අපේක්ෂකයෙක් වටා ඒකරාශී වෙන්න.
ඒ නිසා තමයි අපි සාකච්ජා කරලා ගිවිසුම් අත්සන් කරලා ,අවසානයේ ජනාධිපති අපේක්ෂකතුමන් සමගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගිවිසුම් ගත වෙලා, එතුමාගේ මංගල වේදිකාවේ මම ඇවිත් රටටම කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාද තිබුණා, මතවාදයන් තිබුණා, බේදයන් තිබුණා හැබැයි මේ මැතිවරණයේ සියලු වාද, බේද පැත්තකින් තියලා සියලු අමනාපකම් පැත්තකින් තියලා නොවැම්බර් මාසේ 16 වැනිදා ගෝඨාභය රාජපක්ෂ මහතාව ජනාධිපති කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය ලබා දෙනවා කියන ප්‍රතිඥාව අපි ලබා දුන්නේ. මේක ප්‍රතිඥාවක් බවට පමණක් පත් කරලා හරියන්නේ නෑ. අපි මේක දැන් ක්‍රියාවෙන් ඔප්පු කළ යුතුව තිබෙනවා. මේ මැතිවරණය තුළ අපි කාර්යාල දාන්න මහන්සි වෙන්නේ නෑ. හන්දි ගානේ අපි රැස්වීම් තියන්නේ නෑ. අපේ වගකීම වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමි ඡන්ද ලක්ෂ 17 ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දෙන එක. ඒක කරන්න ලේසීමත් නෑ. අපි උඩින් යාලු වුණාට ගිවිසුම් අත්සන් කර ගත්තට, තාම ගමේ අමනාපකම් තියෙනවා. ප්‍රාදේශීය සභා මැතිවරණයේ වෙච්ච තරහා, මරහා තාම තියෙනවා. සමහර වෙලාවට තාමත් ප්‍රාදේශීය සභාවෙන් ලයිට් එකක් දාගන්න බැරි වුණා කියයි, ගියා උදවු කළේ නෑ කියයි. මේ වගේ අමනාපකම් තියෙනවා.හැමදාමත් වෙන්නේ ඒ ටිකනේ, ලොක්කෝ ටික යාලු වුණාට, ලොක්කෝ ටික එකතු වුණාට ගමේ වෛරය තාම තියෙනවා.
එහෙම නම් දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පැවරිලා තියෙන්නේ මෙන්න මේ ගමේ තියෙන ආරවුල ලෙහලා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ සියලු දෙනාම කිසිම වාදයකින් , මතභේදයකින් තොරව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් ජන්දය ලබා දීමයි” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.