බුදුන්වහන්සේ ගැන ඉන්දීය විදෙස් ඇමතිගේ ප්‍රකාශයට නේපාලයෙන් පිළිතුරු
ගෞතම් බුදුන් වහන්සේ සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා කළ ප්‍රකාශයක් ලොව පුරා අවධානයට යොමු වූ අතර ඒ හේතුවෙන් ඉන්දීය හා නේපාල විදේශ කටයුතු අමාත්‍යාංශ වෙත නිල ප්‍රකාශය පවා සිදුකිරීමට සිදුවිය.
ඉන්දීය කර්මාන්ත සම්මේලනය විසින් සංවිධානය කරන ලද අන්තර් ක්‍රියාකාරී සැසියක් වූ “ඉන්දියානු @ 75 සමුළුව” අමතමින් ඉන්දීය අමාත්‍යවරයා කියා සිටියේ ගෞතම් බුදුන් සහ මහත්මා ගාන්ධි යනු ලොව සිහිපත් කරන ශ්‍රේෂ්ඨතම ඉන්දියානුවන් දෙදෙනා බවයි.
මේ ප්‍රකාශයට නේපාලයේ දැඩි අවධානයක් යොමු වූ අතර එයට ප්‍රතිචාර දැක්වූ නේපාල විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ බුදුන් වහන්සේගේ උපන් ස්ථානය සැකයෙන් හා මතභේදයෙන් ඔබ්බට පවතින බැවින් එය විවාදයට භාජනය විය නොහැකි” බවයි.
“ගෞතම බුදුරජාණන් වහන්සේ නේපාලයේ ලුම්බිණි හි උපත ලැබූ බව ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක සාක්ෂි මගින් සනාථ කරන ලද සත්‍යයක්” යනුවෙන් එම නිවේදනයේ දැක්වෙයි.
“බුදුන් වහන්සේගේ උපන් ස්ථානය සහ බුද්ධාගමේ උල්පත වන ලුම්බිනිය යුනෙස්කෝ ලෝක උරුමයන්ගෙන් එකක්. ” යැයිද එම නිවේදනයේ දැක්වෙයි.
එසේම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා 2014 දී නේපාලයේ කළ සංචාරයේදී පාර්ලිමේන්තුව අමතමින් නේපාලය බුදුන්ගේ උපන් ස්ථානය ලෙස පිළිගෙන ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.
ඉන් අනතුරුව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල ප්‍රකාශක අනුරග් ශ්‍රිවාස්තව ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, අමාත්‍යවරයාගේ ප්‍රකාශය නේපාලය සහ ඉන්දියාව අතර බෙදාගත් බෞද්ධ උරුමය ගැන සඳහන් කර ඇති බවයි.
“ගෞතම බුදුන් උපත ලැබුවේ නේපාලයේ ලුම්බිණි නුවර යි” යැයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශ නිල වෙබ් අඩවියේ පළ කළ නිවේදනයක දැක්වෙයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

