බිත්තර මිල ඉහළ නොදැමීමට තිරණයක්
උත්සව සමයේදී බිත්තර සහ කුකුළු මස් හිඟයකින් තොරව පාරිභෝගික ජනතාවට ලබාදීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (23) වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේදී පැවැත්විණි.
බිත්තර හා කුකුළු මස් වෙළෙඳ සංගම්, සුළු හා මහා පරිමාණ නිෂ්පාදකයන්, බෙදාහරින්නන් සහ සත්ත්ව ආහාර නිෂ්පාදකයන් ඇතුළු ක්ෂේත්රයේ සියලු පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී වෙළෙඳපොළේ කුකුළු මස් මිල අඩුවෙමින් පැවතිය ද බිත්තර මිලෙහි යම් ඉහළ යාමක් දක්නට ලැබෙන බැවින් උත්සව සමයේදී මිල වැඩිවීමකින් තොරව බිත්තර සැපයීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා අවධාරණය කළේය.
ඒ අනුව, උත්සව සමය තුළ බිත්තර මිල ඉහළ නොදමා පවතින මිල මට්ටමේ පවත්වාගෙන යාමට බිත්තර නිෂ්පාදන සංගම් එකඟතාව පළ කළේය. එමෙන්ම, උත්සව සමයේදී කුකුළු මස් හිඟයකින් තොරව සැපයීමටත්, දැනටමත් අඩුවෙමින් පවතින කුකුළු මස් මිල තවදුරටත් පහළ යනු ඇති බවටත් කුකුළු මස් නිෂ්පාදන හා වෙළෙඳ සංගම් මෙහිදී සහතික විය.
මේ අතර, සත්ත්ව ආහාර සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීමේ ගැටලු, ආහාරවල ප්‍රමිතිය සම්බන්ධ ගැටලු සහ ප්‍රමාණවත් විද්‍යාත්මක දැනුමක් නොමැති වීම හේතුවෙන් සුළු පරිමාණ ගොවීන්ට සත්ත්ව ආහාර නිසි පරිදි සමතුලිත කරගැනීමේ අපහසුතා පවතින බව ද සාකච්ඡාවේදී අනාවරණය විය. එම තත්ත්වය ඔවුන්ගේ බිත්තර නිෂ්පාදනයට ද බලපෑම් එල්ල කර තිබේ.
ඒ අනුව, සත්ත්ව ආහාරවල ගුණාත්මකභාවය හා ප්‍රමිතිය තහවුරු කිරීම, සත්ත්ව ආහාර නිෂ්පාදකයන් ලියාපදිංචි කිරීම සහ නිෂ්පාදනාගාර පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට උපදෙස් ලබා දුන්නේය.
මෙම සාකච්ඡාවට අමාත්‍යාංශ ලේකම් කේ.ඒ. විමලේන්තිරරාජා මහතා, අතිරේක ලේකම් ගිල්මා දහනායක මහත්මිය, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු ද සහභාගි වූහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
