ඉදිරියේදී ඇතිවිය හැකි බලශක්ති අර්බුදයට තිරසාර පිළියම් සෙවීමට මේ වනවිට රජයේ අවධානය යොමුවී තිබේ.
ඒ අනුව රාජ්‍ය ආයතනයන්හි බලශක්ති සංරක්ෂණය සහ කාර්යක්ෂම භාවිතය වෙනුවෙන් නව චක්‍ර ලේඛයක් නිකුත් කර, බලශක්ති සංරක්ෂණය සහ කාර්යක්ෂම භාවිතය පිළිබඳව ජාතික වැඩසටහන හදුන්වාදීම තුළින් රාජ්‍ය සේවයකයන් තුළ ඒ පිළිබඳව පෙළඹවීමක් මෙන්ම යොමුකරවීමක් සිදු කිරීමට රජය විසින් පියවර ගෙන තිබේ.
ජනාධිපති කාර්යාලය සහ ශ්‍රී ලංකා සුනිතය බලශක්ති අධිකාරිය එක්ව දියත් කරනු ලබන මෙම ක්‍රියාවලිය සඳහා සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල සහභාගි කරගැනීමට අදහස් කර තිබේ.
ඒ අනුව ඉහත සඳහන් සෑම ආයතනයක් තුළම බලශක්ති කළමණාකරුවෙක් පත්කර, ඔහුගේ සහාය වෙනුවෙන් බලශක්ති සංරක්ෂණ කමිටු පිහිටුවීමට අදහස් කෙරේ. මෙම කමිටුව මගින් තම ආයතනය තුළ බලශක්තිය පරිහරණය කරන ආකාරය පිළිබඳව සොයා බලා, කාර්යක්ෂම භාවිතයක් සහ සංරක්ෂණයක් වෙනුවෙන් තම ආයතනය හැඩගැස්වීම කරනු ලබයි.
මෙම වැඩසටහන තුළින් වාර්ෂිකව ගිගාවොට් පැය 300ක බලශක්තියක් ඉතිරි කරගැනීමට අපේක්ෂිත අතර එය ශ්‍රී ලංකාවේ දින දහයක සමස්ත විදුලිබල ඉල්ලුමට සමාන වේ. ඒ අනුව මෙම ජාතික වැඩසටහන යටතේ බලශක්ති සංරක්ෂණය සහ කාර්යක්ෂම භාවිතය තුළින් සියලුම රජයේ කාර්යාලවල පෙර වර්ෂයට සාපේක්ෂව 10% කින් විදුලිය සහ ඉන්ධන පරිභෝජනය අඩුකර ගැනීම ඉලක්ක කර තිබේ.
දෛනිකව වර්ධනය වන ජනගහනය හමුවේ බලශක්තිය සඳහා ඇති ඉල්ලුමද නිරන්තරයෙන් වර්ධනය වේ.
ඒ අනුව පවතින සිමිත සම්පත් හේතුවෙන් බලශක්ති උත්පාදනයට බාධා එල්ල වේ. විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සිමිත සම්පත් සහිත රටකට, ජනතාවගේ බලශක්ති අවශ්‍යතා සපුරාලීමේදී ගැටලු කිහිපයකට මුහුණදිමට සිදුවේ. අවම මිලක් සහිත විදුලිබල උත්පාදනය සිදුකළ හැක්කේ ජලයෙන් වුවත්, මේ වනවිට ඒ සඳහා යොදා ගතහැකි සියලු ජල පෝෂකයන් අවසන් වී තිබීමෙන්, විදුලි උත්පාදනය වෙනුවෙන් ඉන්ධන ලබාගැනීමට ජාතික අපනයන ආදායමෙන් 25%ක් වැනි මුදලක් වාර්ෂිකව වැය කිරීමට ශ්‍රී ලංකා රජයට සිදුවී තිබේ. එමෙන්ම ජනතාවගේ අකාර්යක්ෂම භාවිතය නිසා 25% අපතේ යන බවද වාර්තා වේ.
ඒ අනුව බලශක්ති සංරක්ෂණය සහ කාර්යක්ෂම භාවිතය පිළිබඳව ජාතික වැඩසටහන හදුන්වාදීමෙන්, විදුලි පාරිභෝගික ජනතාව අපතේ යාමෙන් තොර කාර්යක්ෂම විදුලිබල පරිභෝජන රටාවකට හුරුවීමෙන් සහ බලශක්ති සංරක්ෂණයට යොමුවීමෙන් අනාගතයේදී මුහුණදිය හැකි බලශක්ති අර්බුදයෙන් රට මුදා ගැනීමට හැකි වෙතැයි අපේක්ෂා කෙරේ.
කෂිනි හපුආරච්චි
