බලලෝභී දේශපාලනය අතහැර ජන ජීවිත සුරකින දේශපාලනයකට පිවිසෙන ලෙස එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.
කොරෝනා වසංගතයේ අවධානම ශ්‍රී ලංකාවෙන් පහව ගොස් නොමැති බව මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයෙක් හමුවීම මගින් පැහැදිලි වී ඇති බව ද ඔහු පවසයි.
රුවන් විජයවර්ධන මහතාගේ නිවේදනය
කොරෝනා වසංගතයේ අවදානම මෙරට තුළින් පහව ගොස් නැති බව මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු හමුවීමත් සමග පැහැදිලි වී තිබේ. මෙය සුළුකොට තැකිය නොහැකි බරපතළ තත්ත්වයකි. රට තුළ කොරෝනා ආසාදිතයින් නොමැති බව සෘජුව ප්‍රකාශ නොකළද රජය විසින් සියලු සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන් ලිහිල් කරමින් කටයුතු කිරීම පිළිබඳව අප කණගාටු වෙමු.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන් පවා බැහැර කරමින් රජය කටයුතු කිරීමේ ප්‍රතිඵල ඇතැම් විටක බරපතල ඛේදවාචකයක මූලාරම්භය විය හැක. සමාජ දුරස්ථකරණය සහ සෞඛ්‍ය නිර්දේශ ආරක්ෂා කිරීම පවා සමාජ විට අමතක වී සහ අමතක කර ඇත. ඊට සෘජුව වගකිව යුත්තේ රජය සහ සෞඛ්‍ය අමාත්‍යංශයයි.
මේ වන විට ලෝක බලවතා ලෙස සැලකෙන අමෙරිකාවේ ජනාධිපතිවරයා පවා කොරෝනා වසංගතයට ගොදුරු වී තිබේ. අසල්වැසි ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් ඇත. එවන් වටපිටාවක් තුළ සියලු දෙනාගේම ප්රමුඛ කාර්යය විය යුත්තේ රටේ ජනතාවගේ සෞඛ්‍ය සුරක්ෂිතභාවය ආරක්ෂා කිරීම සහ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා කටයුතු කිරීමයි.
නමුත් අපට පෙනෙන්නට තිබෙන්නේ එම ප්රමුඛ අරමුණු බැහැර කරමින් තම දේශපාලන බලය වර්ධනය කරගනිමින් ඒකාධිපති, රාජාණ්ඩු පන්නයේ පැසිස්ට් රාජ්‍යයක් නිර්මාණය කිරීම පුමුඛ කාර්යය ලෙස සලකන දේශපාලන භාවිතයක් පමණි.
මෙය බරපතල ඛේදවාචකයකි.ජාතිවාදය ආගම්වාදය තම දේශපාලන ව්‍යාපාර වෙනුවෙන් යොදා ගනිමින්,පාස්කු ප්‍රහාරය ,වඳ සැත්කම් ආදී මාතෘකා තුළ ප්‍රසිද්ධියේ තමන් චෝදනා කළ කණ්ඩායම් ප්‍රමාණවත් සාක්ෂි නැතැයි පවසමින් නිදහස් කරමින් ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙලෙහි අරමුණ සහ එදා ඔවුන්ට අවශ්‍යව තිබූ අරමුණ කුමක් දැයි රටේ බුද්ධිමත් ජනතාවට වැටහෙනු ඇති බව අපගේ විස්වාසයයි.
රටෙහි ආර්ථිකය බරපතල ලෙස අර්බුදයකට මුහුණ පා ඇත.ණය වාරික,රාජ්‍ය සේවක වැටුප් ගෙවා ගැනීමේ සිට රාජ්‍ය දෙපාර්තමේන්තු, අමාත්‍යංශ සහ ආයතන පවත්වාගෙන යාම දක්වාම තිබෙන්නේ අර්බුධකාරී තත්වයකි. නමුත් මේ යථාර්ථය ජනතාවට වසන් කරමින් ආණ්ඩුව දිගින් දිගටම එක් පවුලක් වෙනුවෙන් බලය කේන්ද්‍ර කර ගැනීම සඳහා සමස්ත ප්රජාතන්ත්රවාදී මූලධර්ම සුනුවිසුණු කරමින් ඒකාධිපතිත්වයට මගවිවර කර ගැනීමේ ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත කර ගැනීම සදහා කටයුතු කරමින් සිටී, රටේ සංවේදී පරිසර පද්ධති විනාශ කරමින් සිටී. මේවාට මීට සහය පළකරමින් ආණ්ඩුවේ සිටින ප්රජාතන්ත්රවාදය සහ පරිසරය පිළිබඳ උදම් ඇනූ දේශපාලන නායකයින් පිළිබඳ අපට ඇත්තේ පිලිකුලකි.
මතුව ඇති සෞඛ්‍ය අවදානම් තත්ත්වය ද අවබෝධ කරගනිමින් රජය විසින් වහා කළ යුතුව ඇත්තේ ජනතාව ගේ සෞඛ්‍ය ආරක්ෂාවත්, රටේ ආර්ථිකයත් ආරක්ෂා කිරීමත් , නැවත යථා තත්ත්වයට පත් කිරීමත් උදෙසා ප්‍රමුඛතාවය ලබා දෙමින් කටයුතු කිරීම බව එක්සත් ජාතික පක්ෂය ලෙස අපි අවධාරණය කරමු.
රජය එලෙස කිරීමට අපොහොසත් වන්නේ නම් හෝ එම වගකීම පැහැර හරින්නේ නම් හෝ එය මෙරට ඉතිහාසය තුළ රජයක් විසින් සිදුකරන ලද බරපතල ම දේශපාලනික වරද බවට පත්වුණු ඇත.
රුවන් විජයවර්ධන
නියෝජ්‍ය නායක
එක්සත් ජාතික පක්ෂය