දූෂණය, වංචාව, නාස්තිය මුලිනුපුටා දැමීම සඳහා කළ යුතු ප්‍රධාන දේ බලය හා දූෂණය අතර තිබෙන සම්බන්ධතාව වෙන්කිරීම බවත්, බලය සහ දූෂණය එකට ගමන් කරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. ජෝර්ජියාවේ පැවැත්වෙන විවෘත රාජ්‍ය හවුල්කාරීත්වයේ නායක හමුවට එක්වෙමින් ජනාධිපතිවරයා අද (18දා) මෙම අදහස් දැක්වීය.
“ප්‍රධාන වශයෙන් දේශපාලන ක්ෂේත්රයේ වේවා රාජ්‍ය නිලධාරීන් තුළ වේවා ඔවුන් සතු පෞද්ගලික බලය හැකිතරම් අවම කිරීමත් බලය සාමූහිකත්වයට බාරදීමත් ව්‍යවස්ථාපිත වශයෙන් ඉතාමත් වැදගත් වෙනවා.
මම ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වන අවස්ථාවේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයාට තිබුණේ ලෝකයේ කිසිම රටක රාජ්‍ය නායකයෙකුට නොමැති අසීමිත විධායක බලයක්. ඒ අසීමිත විධායක බලය සමග තමයි දූෂණය ගමන් කරමින් තිබුණේ.
ඒ නිසා මම ජනාධිපති ලෙස පත්වී මුලින්ම කළේ, පළමුවෙනි මාස හය තුළ විධායක ජනාධිපතිවරයා සතුව තිබූ, අසීමිත විධායක බලය මගෙන් ඉවත් කරලා පාර්ලිමේන්තුවට ලබාදීමයි. ඒ තුළින් පාර්ලිමේන්තුවේ බලය ශක්තිමත් කළා.
මගේ රටේ අධිකරණය දේශපාලන බලපෑම් නිසා බරපතළ ලෙස දූෂිත වෙලා තිබුණේ. ගුණාත්මකභාවයෙන් සහ ප්‍රමිතියෙන් පහළ වැටිලා තිබුණේ. අද කිසිදු දේශපාලනඥයෙකුට අත ගහන්න බැරි ආකාරයට අධිකරණය ශක්තිමත් වෙලා තිබෙනවා.
අල්ලස, දූෂණය සම්බන්ධයෙන් ස්වාධීන කොමිෂන් සභා ශක්තිමත් කරලා, බලතල වැඩි කරලා කිසිදු දේශපාලනඥයෙකුට හෝ රාජ්‍ය නිලධාරියෙකුට එයට බලපෑම් කළ නොහැකි ආකාරයට ඒවා ශක්තිමත් කර තිබෙනවා.”
