කොරෝනා වෛරසය හෙවත් SARS-CoV-2 හි තවත් නව ප්‍රභේදයක් බ්‍රසීලයේ ප්‍රදේශ කිහිපයකින් අනාවරණය වී ඇති බව එරට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ විද්‍යාත්මක පරිගණනය පිළිබඳ ජාතික විද්‍යාගාරය පවසයි.
2020 නොවැම්බරයේදී උතුරු බ්‍රසීලයේ ඇමසොනාස් ප්‍රාන්තයේ මුලින්ම මතුවූ P1 ප්‍රභේදය හේතුවෙන් ජනනය වූ රෝගීන්ගේ වැඩිවීම හේතුවෙන් රටේ සෞඛ්‍ය සේවා පද්ධතිය බිඳ වැටෙමින් පවතින අතරතුර විද්‍යාඥයන් මේ නව ප්‍රභේදය හඳුනාගෙන තිබේ.
"බ්‍රසීල ප්‍රාන්ත 5ක, මහ නගර සභා 39ක සිදුකරන ලද අධ්‍යයනයකින් බ්‍රසීලයේ සංසරණය වූ B.1.1.33 ප්‍රභේදයෙන් ආරම්භ වූ SARS-CoV-2 හි නව ප්‍රභේදයක් හඳුනා ගැනීමට හැකි වුණා" යනුවෙන් ජාතික විද්‍යාගාරය සිය නිවේදනය මගින් කියා තිබුණි.
මෙම නවතම ප්‍රභේදයේ, කොවිඩ්-19 පාලනය කිරීම සඳහා නව උපාය මාර්ග සැලසුම් කිරීම සංකීර්ණ කළ හැකි විකෘතියක් අඩංගු වන බවටද ජාතික විද්‍යාගාරය අනතුරු ඇඟවා තිබේ.
"වෛරස් විකෘති හඳුනා ගැනීමට හැකි ඉක්මනින් ඵලදායී ජානමය නිරීක්ෂණයක් සඳහා ඇති අවශ්‍යතාව පැහැදිලියි. එමගින් කොවිඩ්-19 ට එරෙහිව වර්තමාන එන්නත් වැඩි දියුණු කිරීමට උපකාරී වෙනවා" යනුවෙන් විද්‍යාත්මක පරිගණනය පිළිබඳ ජාතික විද්‍යාගාරය වැඩිදුරටත් පැවසීය.