බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලුයිස් ඉනේෂියෝ ලූලා ද සිල්වා ප්‍රකාශයක් කරමින් කියා සිටියේ තමා කොවිඩ්-19 සඳහා ධනාත්මකව සිටි බවත්, කෙසේ වෙතත් මේ වනවිට වෛරසයෙන් පූර්ණ ලෙස සුවය ලබා ඇති බවත්ය.
කියුබාවේ සංචාරයක් සඳහා පිටත්ව යාමට පෙර ලූලා, ඔහුගේ පෙම්වතිය සහ ඔහුගේ පිරිවර හත්දෙනෙකු පසුගිය මාසයේදී බ්‍රසීලයේ කොවිඩ්-19 සඳහා පරීක්ෂාවට ලක් කර ඇති අතර, නැවත දෙසැම්බර් 21 වැනි දින එහි පැමිණි පසුද පරීක්ෂා කෙරී ඇත.
එහෙත් කියුබාවේ දෙසැම්බර් 26 වැනි දින සිදුකළ තුන්වැනි පරීක්ෂණයෙන් ඔහු සහ ඔහුගේ කණ්ඩායමේ සෙසු සාමාජිකයන්ට ධනාත්මක ප්‍රතිඵලයක් අනාවරණය විය. ඒ අනුව ඔවුන් බ්‍රසීලයේ සිට වෛරසය සමග එරටට පැමිණ ඇති බව සඳහන් විය.
කොවිඩ්-19 ආසාදිතව සිට තමාගේ පෙනහළුවල ආබාධයන් ඇති වී තිබුණද, රෝහල්ගත කිරීමට තරම් තත්ත්වයක් නොවූ බවද ලූලා කීය. එහිදී දෛනික ප්‍රතිකාර සඳහා ඔවුන් සමග සිටි සෞඛ්‍ය වෘත්තිකයින්ගේ සහ කියුබානු මහජන සෞඛ්‍ය පද්ධතියේ කැපවීම පිළිබඳව කෘතඥ වන බව ලූලා කීවේය.