බ්‍රසීලයේ නව කොරෝනා වෛරස ආසාදිතයන් 16,508ක් ගෙවීගිය දිනයේදී වාර්තා කර ඇති අතර, මේ වනවිට එරට සමස්ත ආසාදිත අගය 347,398ක සිමාවට පැමිණ තිබේ.
බ්‍රසීල සෞඛ්‍ය අමාත්‍යංශය මෙන්ම, ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව මේ වනවිට බ්‍රසීලය ආසාදිත අගයෙන් දෙවැනි වන්නේ ඇමෙරිකාවට පමණි. ඔවුන්ට පිටුපසින් සිටින්නේ රුසියාවයි.
මේ අතර ගෙවීගිය පැය 24 බ්‍රසීලය විසින් නව කොරෝනා වෛරස් මරණ 965ක් වාර්තා කර ඇති අතර, ඒ අනුව රටපුරා මරණ සංඛ්‍යාව 22,013ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර රෝහල්වලින් දුරස්ථව සිටීමත්, බොහෝ විට මූලික යටිතල පහසුකම් නොමැතිකමත් නිසා බ්‍රසීලයේ ආදිවාසීන් කොවිඩ්-19 හමුවේ දැඩි බලපෑමකට නතුව සිටින බව වාර්තා වෙයි.
බ්‍රසීලයේ ආදිවාසී ජනතාවගෙන් ආසාදිතයන් 980කට වඩා මේ වනවිට නිල වශයෙන් වාර්තා වී ඇති අතර, අවම වශයෙන් මරණ 125ක්වත් සිදුව ඇති බවද කියයි. එය ඔවුන්ගේ ජනඝනත්වය සමග සැසඳීමේදී 12.6ක පමණ මරණ අනුපාතයකි.
විශේෂයෙන්ම බ්‍රසීලයේ ඇමසන් වනාන්තරය හෙළිපෙහෙළි කරමින් කර්මාන්ත ශාලා ඉදිකිරීමට වත්මන් ජනපති ජෙයර් බොල්සොනාරෝ කටයුතු කරන විට ඊට තදින්ම විරුද්ධ වූයේ මේ ආදිවාසීන්ය.
ඒ අනුව වත්මන් ජනපතිවරයා වෛරසය පාලනය කිරීම සම්බන්ධයෙන් දරණ මන්දගාමී ස්වරූපයද, මේ ආදිවාසීන් විනාශ කිරීම සඳහා ඔහු දරණ වක්රාකාර වෑයමක් විය හැකි බවටද පරිසරවේදීන් හා සංවිධාන සැක පහළ කරති.