මින් ඉදිරියට ලෝක වෙළෙඳ පොළෙහි බොරතෙල් මිල පිළිබඳව තීරණ ගැනීමේ අවස්ථාව තමන් වෙත නතු කරගැනීමේ අරමුණින් සෞදි අරාබිය සහ ඇමෙරිකා එක්සත් ජනපදය එක්ව නව බොරතෙල් කාටලයක් බිහි කිරීමට අරමුණු කරගෙන ඇතැයි 'බ්ලූම්බර්ග්' වෙබ් අඩවිය පවසයි.
ඒ සඳහා වන සාකච්ඡා මේ වනවිටත් දෙරට අතර පැවැත්වෙමින් තිබෙන බව වාර්තා වෙයි. විශේෂයෙන්ම පසුගිය දින කිහිපයේදී ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් බැරලයක මිල ඇ.ඩොලර් 25ටත් වඩා අඩු අගයකට පත්වීමත් සමගම උද්ගත වූ අවස්ථා වෙත පිළියමක් ලෙස ඔවුන් මෙම තීරණය ගෙන තිබේ.
මේ අතර පසුගිය සඳුදා දිනයේ සිට ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල යම් පමණකින් ඉහළ යාම සඳහාද සෞදි අරාබියත්, එක්සත් ජනපදයත් අතර බිහිවීමට සැලසුම් කර ඇති මෙම නව බොරතෙල් කාටලය පිළිබඳ සාකච්ඡාද හේතුවක් වී ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සඳහන් කර සිටියි.
කෙසේ වෙතත් මෙම කාටලය බිහි කිරීම පිළිබඳ කරුණ තවමත් අදහසක් පමණක් බවත්, එය පවතින තත්ත්වය සමනය සඳහා ඉදිරිපත්ව ඇති යෝජනා අතරින් එකක් ලෙස ගැනිය හැකි බවත් එක්සත් ජනපදයේ බලශක්ති පිළිබඳ ලේකම්වරයා සඳහන් කරයි. කෙසේ වෙතත් මෙවැන්නක් බිහි වුවහොත් ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල සෞදි අරාබියටත් - එක්සත් ජනපදයටත් වාසිසහගත ලෙස තීරණය කිරීමේ අවස්ථාව උදාවන බව විචාරකයෝ පවසති.
COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳ පොළේ ඇති වූ බොරතෙල් ඉල්ලුමේ පහළ යාම සහ සෞදි අරාබිය සහ රුසියාව අතර හටගත් බොරතෙල් මිල පිළිබඳ යුද්ධය හේතුවෙන් පසුගිය ජනවාරි මාසය ආරම්භයේදී ඩොලර් 65ක්ව පැවැති ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල මෙලෙස ඩොලර් 20ත් 30ත් අතර තත්ත්වයට පත්ව තිබේ.