කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් මහා බ්‍රිතාන්‍යයේ වාර්තා වන මරණ සංඛ්‍යාව, දැනට දෙවනුවට වැඩිම මරණ වාර්තා වන ඉතාලියේ අගයද ඉක්මවා යෑමට ආසන්න බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
ඒ අනුව මහා බ්‍රිතාන්‍ය තුළ මේ වනවිට කොවිඩ්-19 මරණ 26,166ක් වාර්තා වන අතර, ඒ අගය බ්‍රිතාන්‍යට පෙර වෛරසය දැඩිව ව්‍යාප්ත වූ ස්පාඤ්ඤය, ප්‍රංශය ආදී රටවල මරණ සංඛ්‍යාවද අභිභවා යන අගයකි.
එමෙන්ම එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 166,441ක් ලෙස වාර්තා වන අතර එය ලොව වැඩිම ආසාදිත ලැයිස්තුවේ පස්වැනි තැන පසුවෙයි. සුවය ලැබූවන් වාර්තා වන්නේද 857ක් තරම් ඉතා සුළු අගයක් වීම තත්ත්වය තවත් බරපතළ කර ඇත.
කෙසේ වෙතත් වෛරසය හේතුවෙන් යුරෝපා කලාපයේ මුල සිටම දැඩි බලපෑමකට ලක්වූ ඉතාලියේ මේ වනවිට යම් පාලනයක් දැකිය හැකි වෙයි. කෝරෝනා මරණවලින් තවමත් දෙවැනි තැන පසුවන ඉතාලියේ කොවිඩ්-19 මරණ 27,682ක් වාර්තා වන අතර, සමස්ත ආසාදිතයන්ගෙන් තෙවැනි තැන පසුවන එරට ආසාදිත සංඛ්‍යාව 203,591කි. එමෙන්ම සුවය ලැබූවන් 71,252ක් වාර්තා වීම යහපත් තත්ත්වයකි.
මීට අමතරව ඇමෙරිකාවට පසුව දෙවනුවට වැඩිම ආසාදිතයන් වාර්තා වන ස්පාඤ්ඤයේ මේ වනවිට 236,899 දෙනෙකුට වෛරසය ආසාදිතව ඇත. එරට සිදුව ඇති මරණ සංඛ්‍යාව 24,275කි. සුවය ලැබූවන් 132,929කි.
සිව්වනුව වැඩිම ආසාදිතයන් වාර්තා වන ප්‍රංශයෙන් කොවිඩ්-19 ආසාදිතයන් 166,543ක් වාර්තා වන අතර, එරට මරණ 24,121ක් වාර්තා වෙයි. සුවය ලැබූවන් 50,000කට ආසන්නය.
හයවනුව වැඩිම ආසාදිතයන් වාර්තා වන ජර්මනියේ අගය 161,539ක් වන අතර, වෛරසය ආශ්රිත මරණ සංඛ්‍යාව දැඩිව පාලනය කර ඇති ජර්මනියේ මරණ සංඛ්‍යාව 6,467කි. එමෙන්ම සුවය ලැබූවන් ජර්මනිය තුළ ඉහළ අගයක් ගන්නා අතර, එය 120,400කි.
හත්වනුව වැඩිම ආසාදිතයන් වාර්තා වන තුර්කියේ අගය 117,589කි. එරට මරණ සංඛ්‍යාව 3,081ක් වන අතර, සුවය ලැබූවන් 44,040කි.
අටවනුව වැඩිම ආසාදිතයන් වාර්තා වන රුසියාවේ ආසාදිතයන් 100,000ක් අභියස වෙයි. එරට මරණ සංඛ්‍යාව 972ක් වන අතර, සුවය ලැබූවන් 10,286කි.
නමවනුව වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ ඉරානයෙනි. එම අගය 93,657කි. එරට වාර්තා වන මරණ සංඛ්‍යාව 5,957ක් වන අතර, සුවය ලැබූවන් 73,791කි.