ඉදිරි දින කිහිපය තුළ බ්‍රිතාන්‍ය දෙවැනි ජාතික අගුලු දැමීම (ලොක්ඩවුන්) සිදුවන බව බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් නිවේදනය කරයි. එක්සත් රාජධානිය නව කොරෝනා වෛරසයේ සමස්ත ආසාදිතයන් මිලියනයක සන්ධිස්ථානය පසුකර පැය කිහිපයකට පසුව මෙම තීරණය අගමැතිවරයා ප්‍රකාශයට පත් කළේය.
ලබන සතිය මුලදී පාර්ලිමේන්තු ඡන්ද විමසීමෙන් පසුව බ්‍රහස්පතින්දා සිට මාසයක් පුරා වසා දැමීම බලාත්මක වන බව ඊයේ (31දා) සවස පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ජොන්සන් පැවසීය.
"සරත් සෘතුවේ ආසාදන ඉහළ යෑම පාලනය කිරීම සඳහා අප දැන්ම ක්‍රියා කළ යුතුයි" ඔහු පැවසීය.
අගමැතිවරයා මෙය ප්‍රකාශ කිරීමට පෙර දින එරට ජාතික පුවත්පත් ගණනාවකට රජයේ සැලසුම් කාන්දු වීමෙන් පසුව ජොන්සන්ට මේ බව ප්‍රකාශ කිරීමට සිදුවිය. මෙම පියවර මුලින් සඳුදා ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර තිබුණු බව සඳහන් වේ.
මෙම දැඩි අගුලු දැමීම් තත්ත්වය යටතේ කොණ්ඩා සැකසුම් සහ ජිම් ඇතුළු බාර්, අවන්හල් සහ අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාර වසා දැමෙනු ඇත. කෙසේ වෙතත් පාසල්, විශ්ව විද්‍යාල සහ ක්‍රීඩාංගන විවෘතව පවතින බව කියයි.
එහිදී ජනතාවට තම නිවසෙන් බැහැරට යා හැක්කේ නිශ්චිත හේතූන් මත පමණි. එය අධ්‍යාපනය, රැකියාව (ඔවුන්ට නිවසේ සිට වැඩ කිරීමට නොහැකි නම්), අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෙනඒමට, සෞඛ්‍ය හේතූන් මත හෝ එළිමහනේ ව්‍යායාම සහ විනෝදාස්වාදය (එම පුද්ගලයාගේ පවුලේ අය සමග හෝ වෙනත් නිවසකින් එක් අයෙකු පමණයි.) සඳහා සීමා වෙයි.
නැවත පැමිණීමෙන් පසුව නිරෝධායන නීතිරීති අනුගමනය කරන්නේ නම් පමණක් ජනතාවට රැකියාව සඳහා විදේශ ගත වීමට හැකි වුවද, රජය අත්‍යවශ්‍ය නොවන සියලුම සංචාර අධෛර්යමත් කරයි. නව ලොක්ඩවුන් සීමා දෙසැම්බර් 2දා දක්වා පවතිනු ඇති අතර, එම අවස්ථාවේදී කලාපීය වශයෙන් කලාපීය පදනමක් මත එංගලන්තයට වෛරසය පාලනය කිරීමට එංගලන්තයට හැකි වන පරිදි වෛරසය ප්‍රමාණවත් ලෙස පාලනය කරනු ඇතැයි ජොන්සන් බලාපොරොත්තු වේ.
සිය කැබිනට් මණ්ඩලය සමඟ මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දහවල් කාලය ගතකළ අග්‍රාමාත්‍යවරයා මීට පෙර කියා සිටියේ, තවත් වටයකට ලොක්ඩවුන් එකකට යෑමේ අවාසනාවන්ත තත්ත්වය වළක්වා ගැනීමට තමාට අවශ්‍ය නමුත්, එය තමන් ප්‍රතික්ෂේප නොකළ බවය.
වර්තමානයේ ප්‍රාදේශීය වශයෙන් සිදුකරන ලොක්ඩවුන් ක්‍රමය වෙනුවට, රටටම අගුලු දැමීමක් අවශ්‍ය බව එක්සත් රාජධානියේ ඉහළම විද්‍යාඥයන් අනතුරු ඇඟවීම නිසා අගමැතිවරයා සති ගණනාවක් පුරා දැඩි පීඩනයකට බඳුන් විය.
ඒ අනුව සති කිහිපයක් තියුණු ලෙස ඉහළ යන ආසාදනවලින් පසුව මෙම පියවර ගත් අතර, මේ වනවිට එක්සත් රාජධානියේ මිලියනයකට වඩා ආසාදිතයන් තහවුරු වී ඇති අතර, සෙනසුරාදා නව ආසාදිතයන් 21,915ක් වාර්තා වී ඇති අතර, ඒ සමග සමස්ත ආසාදිත අගය 1,011,660කි. නව මරණ 326 ක් සිදුවී ඇති අතර, සමස්ත මරණ සංඛ්‍යාව 46,555කි.
එරට ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලය දැන් ඇස්තමේන්තු කර ඇත්තේ එංගලන්තයේ පුද්ගලයින් 100 දෙනෙකුගෙන් එක් අයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවය. එය ජූලි මාසයේ 2,300කට 1ක් ලෙස පැවතුණි.