ඊසානදිග බුර්කිනා ෆාසෝ හි පුද්ගලයන් 130කට වඩා ඝාතනය කරමින් මේ මස මුලදී ජන සංහාරයක් සිදුකර ඇත්තේ වයස අවුරුදු 12ත් 14ත් අතර ජිහාඩ්වාදී ළමා සොල්දාදුවන් පිරිසක් විසින් බව අනාවරණය වී තිබේ.
සන්නද්ධ ප්‍රහාරකයන් ජුනි 04දා සවස සොල්හාන් ගම්මානය වටලා නිවැසියන්ට වෙඩි තබා නිවාස ගිනි තබා තිබුණු අතර, ඉස්ලාමීය රාජ්‍යයට හා අල්කයිඩා සංවිධානයට සම්බන්ධ ජිහාඩ්වාදීන්ගේ පීඩාවන්ට නිතර ලක්වන ප්‍රදේශයක වසර ගණනාවකින් සිදුවූ දරුණුතම ප්‍රහාරය ලෙස මෙය සැලකිණි.
රජයේ ප්‍රකාශක සෙනි තම්බෝරා කියා සිටියේ ප්රහාරකයන්ගෙන් බහුතරය ළමා සොල්දාදුවන් බවට හඳුනාගෙන ඇති අතර, එය එක්සත් ජාතීන්ගේ සංවිධානයේද හෙලාදැකීමට හේතු වී ඇති බවයි.
"සන්නද්ධ කණ්ඩායම් විසින් ළමයින් හා නව යොවුන් දරුවන් සොල්දාදුවන් ලෙස බඳවා ගැනීම අප තරයේ හෙළා දකිනවා. මෙය එම දරුවන්ගේ මූලික අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක්ද වෙනවා" එක්සත් ජාතීන්ගේ ළමා ඒජන්සිය වන යුනිසෙෆ් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.
එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගේ සහ ජාත්‍යන්තර හමුදාවන්ගේ මැදිහත්වීම් තිබියදීත්, අසල්වැසි මාලි සහ නයිජර් ඇතුළු බටහිර අප්‍රිකාවේ සහෙල් කලාපය පුරාම ඉස්ලාමීය අන්තවාදීන්ගේ ප්‍රහාර අඛණ්ඩව සිදුවන බව විදෙස් වාර්තා පවසයි.
ජිහාඩ්වාදීන් විශාල ප්‍රදේශ පාලනය කරන බුර්කිනා ෆාසෝ හි උතුරේ ප්‍රාදේශීය නිලධාරීන් පැවසුවේ පසුගිය වසර පුරා ළමා සොල්දාදුවන් ඉස්ලාමීය කණ්ඩායම් විසින් භාවිත කර ඇති නමුත්, මෙම මාසයේ ප්‍රහාරය මෙතෙක් වාර්තා වූ ඉහළම ම්ලේච්ඡ පැතිකඩක් නිරූපණය කර ඇති බවයි.
මෙම ජිහාඩ්වාදින්ගේ ප්‍රහාර නිසා එරට දහස් ගණන් ජනයා මියගොස් ඇති අතර, මිලියන 1.2කට වැඩි පිරිසක් අවතැන්ව සිටිති. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු තාවකාලික කඳවුරුවල දිවි ගෙවන අතර, පාසල් 2,200කට අධික ප්‍රමාණයක් වසා දමා ඇති නිසා දරුවන්ගේ අධ්‍යාපනයද කඩාකප්පල් වී ඇත.