ඩිමොක්රැටික් පක්ෂ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් ඇමෙරිකා එක්සත් ජනපදයේ තේරීපත්වූ ජනාධිපතිවරයා ලෙස පිළි නොගන්නා, වත්මන් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ, ජෝ බයිඩන්ගේ ජයග්‍රහණයට සුබ පැතූ රාජ්‍යයන් 7ක සංචාරයකට සූදානම් වන බව විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව මෙම සතිය අගදී පොම්පෙඕ ප්‍රංශය, තුර්කිය, ජෝර්ජියාව, ඊශ්‍රායලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර් සහ සෞදි අරාබිය වෙත සංචාරයකට එක්වනු ඇත.
මෙම රටවල නායකන්ගේ සුබ පැතුම් තේරීපත්වූ ජනපති ජෝ බයිඩන් වෙත දැනටමත් ට්වීට්, දුරකථන ඇමතුම් සහ ප්‍රකාශ ස්වරූපයෙන් පැමිණ තිබේ.
එහිදී මෙම පණිවිඩ පිළිබඳව රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕගෙන් මාධ්‍ය විමසූ විට ඔහු කියා සිටියේ සියලුම ඡන්ද තවමත් ගණන් කර නොමැති බව ලෝක නායකයන්ට මතක් කිරීමටද මෙහිදී තමන් කටයුතු කරන බවය.
"සියලු ඡන්ද ගණන් කර නොමැති බව අපි සෑම කෙනෙකුටම මතක් කර දෙනවා. නීතිමය ක්‍රියාවලිය සම්පුර්ණයෙන්ම අනුකූල වන බවට අප වග බලා ගත යුතුයි. ඇමරිකාව කළ හැකි හොඳම දේ කරනු ඇති" පොම්පෙඕ සඳහන් කළේය.
එක්සත් ජනපදයේ ජනාධිපති ලෙස තේරීපත්වූ ජෝ බයින්ගේ ජයග්‍රහණය පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින්, දෙවැනි ට්‍රම්ප් පරිපාලනයකට සුමට සංක්‍රාන්තියක් සිදුවනු ඇති බවද පසුගියදා රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ කියා සිටියේය. තේරීපත්වූ බයිඩන් ජනපති ධුරයට පත්කෙරෙන ඔහුගේ සංක්‍රාන්ති කණ්ඩායම සමග සම්බන්ධ වීමට සූදානම් දැයි මයික් පොම්පෙඕගෙන් රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී නැගුණු පැනයකට පිළිතුරු දෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
මේ අතර, මැතිවරණයෙන් පසුව දින කිහිපයක් ප්‍රසිද්ධියේ පෙනී නොසිටි ඇමෙරිකාවේ වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (11දා) ජනපති ආර්යා මෙලානියා සහ උප ජනාධිපති මයික් පෙන්ස් සමග ඇමෙරිකානු හමුදා විරුවන්ගේ සැමරුමකට ආර්ලිංටන් ජාතික සුසාන භූමියේදී එක්විය.
බදාදා උදෑසන සිහින් වැස්සක් ඇද හැලෙද්දී ට්‍රම්ප් නාඳුනන සොල්දාදුවාගේ සොහොන් කොත ඉදිරිපිටට පැමිණි අතර, කුඩයක්ද නොමැතිව වැස්සේ තෙමෙමින් ඔහු සිය ආචාරය පුදකරන ආකාරයද දැකිය හැකි විය. කෙසේ වෙතත් ජනාධිපති ආර්යා මෙලානියා ප්රමුඛ ආර්යාවන් හමුදා සොල්දාදුවන්ගේ කුඩ යටින් නොතෙමී එම අවස්ථාවට එක්ව සිටියහ.
ට්‍රම්ප්ගේ පාර්ශ්වය මෙසේ හැසිරෙද්දී, තේරීපත් වූ ජනපති ජෝ බයිඩන් සිය ධවල මන්දිරයේ මාණ්ඩලික ප්‍රධානියා ලෙස රොන් ක්ලයින් නම් කර තිබේ. මේ අතර ක්ලයින් මෙම ඉල්ලීම පිළිගෙන ඇති අතර බයිඩන් සමග තම සේවය ආරම්භ කරන බවද පවසා තිබේ. මෙවැනි උභතෝකෝටිකයක් මේ වනවිට ඇමෙරිකානු දේශපාලනයේ දැකිය හැකි බව විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.