එක්සත් ජනපදයේ තේරීපත් වූ ජනාධිපති ජෝ බයිඩන්ගේ දිවුරුම්දීම අරභයා වොෂිංටන් ඩීසී වෙත ජනවාරි 24දා දක්වා හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමත්, ඒ සඳහා අවශ්‍ය ආරක්ෂාව සැපයීමේ අතිරේක ආධාර සඳහා වූ ෆෙඩරල් සහාය ලබාදීමත් වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනුමත කර තිබේ.
ලබන සතියේ ජනාධිපති ධුරයට පත්වන ජෝ බයිඩන්ගේ දිවුරුම්දීමේ උත්සවයට ආරක්ෂක තර්ජන එල්ල වන බවට FBI බුද්ධි අංශ නිලධාරීන් අනතුරු ඇඟවීමත් සමග මෙම පියවර ගෙන තිබේ.
එහිදී බයිඩන්ගේ දිවුරුම්දීමට පෙරාතුව එක්සත් ජනපදයේ ප්‍රාන්ත 50 පුරාම සහ වොෂිංටන් ඩීසී හි සන්නද්ධ විරෝධතා සඳහා වූ සැලසුම පිළිබඳව FBI බුද්ධි අංශ නිලධාරීන් අනතුරු ඇඟවීය.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් වොෂිංටන් ඩීසී හි කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදීමේ සිදුවීමත් සමග මේ වනවිට ඒ වටා ආරක්ෂක වැටවල් ඉදිවී ඇති අතර, එක්සත් ජනපද අගනුවර ආරක්ෂා කිරීම සඳහා ජාතික ආරක්ෂක බළකායේ හමුදා භටයන් 15,000ක් පමණ වොෂිංටන් වෙත යැවීමට බලය පවරන ලදී. එමෙන්ම ජනවාරි 24දා දක්වා සංචාරකයන්ට වොෂිංටන් ස්මාරක නැරඹීම තහනම් විය.