එක්සත් ජනපද ජනාධිපතිවරණ ප්‍රතිඵලය පෙරළා දැමීමේ මංමුලාසහගත උත්සාහයක නිරතව සිටින ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, මැතිවරණයේ වංචා පිළිබඳ සනාථ නොකළ ප්‍රකාශයන් පුනරුච්චාරණය කරමින් මිචිගන් හා පෙන්සිල්වේනියා ප්‍රාන්තවල ඩිමොක්රටික් අපේක්ෂක ජෝ බයිඩන් ලැබූ ජයග්‍රහණ නිල වශයෙන් පිළිගැනීම අවහිර කිරීමට උත්සාහ කළේය.
බයිඩන් ජයග්‍රහණය ප්‍රකාශයට පත්කර සති දෙකකට පසුව, රිපබ්ලිකන් අපේක්ෂක හා වත්මන් ජනපති ට්‍රම්ප් එය පිළිගැනීම සෑම අතින්ම ප්‍රතික්ෂේප කරමින් සිටින්නේ, උණුසුම් ඡන්ද සටනක් පැවති ප්‍රාන්ත කිහිපයකම ප්‍රතිඵල නිකුත් කිරීම අතිහිටුවා නඩු පැවරීමට සහ නැවත ගණන් කිරීම් මගින් ප්‍රතිඵල අවලංගු කිරීමට හෝ වෙනස් කිරීමට උත්සාහ කරමිනි. කෙසේ වෙතත් මෙවැනි පුළුල් මැතිවරණ වංචාවක් සිදුවූ බවට ඔහුගේ නීතීඥයන් පැහැදිලි සාක්ෂි සපයා නොමැති වීමෙන් ඇතැම් අවස්ථාවල ඔවුන් ඉදිරිපත් කළ නඩු වීසිවී ගියේය.
නමුත් මේ කිසිවකින් සෑහීමකට පත් නොවූ ට්‍රම්ප් මේ වනවිට දිනපතාම පාහේ "දැවැන්ත ඡන්දදායක වංචාවක් පෙන්වනු ඇත!" ආදී වශයෙන් ට්විටර් පණිවුඩ නිකුත් කරමින් සිටියි.
ට්‍රම්ප්ගේ නීතීඥයන් දැන් ජෝර්ජියා ප්‍රාන්තයේ ඡන්දය නැවත ගණන් කිරීමක් ඉල්ලා සිටීමට උත්සාහයක නිතර වෙමින්, එම නීති කණ්ඩායම ප්‍රාන්තයේ නඩු පැවරීමට සැලසුම් කර ඇති නමුත් එහිදීද පුළුල් මැතිවරණ වංචාවක් සිදුවූ බවට පැහැදිලි සාක්ෂි සපයා නොමැති බවද ඇමෙරිකානු මාධ්‍ය පෙන්වා දෙයි.
ඒ අනුව මේ වනවිට ඇමෙරිකානු දේශපාලනය හුදු මඩගොහොරුවක් පමණක් බවට පත්ව ඇති අතර, එය දිනෙන් දින අවුලෙන් අවුලට යන තත්ත්වයක් පෙන්නුම් කරන බව දේශපාලන විචාරකයෝ පවසා සිටිති.