තලවකැලේ, ලිඳුල, අග්‍රාකන්ද වතුයායේ වතුකම්කරුවන් පිරිසකට අද (19) උදෑසන එල්ල වු බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 35දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා ලිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කරනු ලැබීය.
නෙලා ගන්නා ලද තේ දලු කිරුම් මධ්‍යස්ථානයට ලබාදී නිවෙස් බලා යමින් සිටි වතු කම්කරුවන් පිරිසකට ඒ අසල ගසක බැඳ තිබු බඹර කූඩුවක් ඇවිස්සී මෙසේ බඹරුන් දෂ්ඨ කොට ඇතැයි වතු නිලධාරියෙකු පැවැසීය.
තුවාල ලැබුවන්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය. බඹරුන් දෂ්ඨ කිරීමෙන් තුවාල ලබා රෝහලට ඇතුළත් කරන ලද තුවාල කරුවන්ගෙන් 24 දෙනෙකු රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා අද (19) දහවල් වනවිට පිටව ගොස් ඇති බවත් , තවත් තුවාල කරුවන් 11දෙනෙකු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවද එම ප්‍රකාශකයා පැවසීය.
රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන තුවාලකරුවන් අතර වතු කම්කරු කාන්තාවන් හය දෙනෙකු හා පිරිමි වතු කම්කරුවන් පස් දෙනෙකු සිටිති.
උඩරට වතුකරයේ වතු කම්කරුවන්ට මෙසේ දිගින් දිගටම නිරන්තරයෙන් බඹර ප්රහාරයන් එල්ලවුවත් ඒ සම්බන්ධයෙන් වතුපාලන අධිකාරිය හෝ රජයේ වගකිව යුතු අංශවල අවධානය යොමු නොවීම කනගාටුවට කරුණක් බව වතු කම්කරුවෝ පවසති.
