බන්ධනාගාරවල පවතින තත්ත්වය පිළිබඳව විෂය භාර ඇමතිවරිය වශයෙන් තමාට සතුටු විය නොහැකි බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනී තලතා අතුකෝරාල මහත්මිය පවසයි.
අධිකරණ අමාත්‍යවරිය මේ බව පැවසූවේ මත්ද්‍රව්‍ය ජාවාරම සහ නීතිවිරෝධි ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය විසින් බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේ පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමිනි.
“අපේ රටේ බන්ධනාගාරවල තත්ත්වය පිළිබඳව මම ඉතාම කනගාටු වෙනවා. මේ මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා අපි ක්‍රියාත්මක කරන වැඩසටහන් හරියටම ක්‍රියාත්මක විය යුතුයි. ඒ සඳහා රජය කරනු ලබන වැඩසටහන්වලට නිලධාරීන්ගේ සහාය උපරිම වශයෙන් අවශ්‍යයි.
ඊයේ පෙරේදා අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයට ගියා. බන්ධනාගාරගතව ඉන්න කාන්තාවන්ට මම බැන්නා දොස් කිව්වා. මම කිව්වා ඔයාලා විනාශ වුණාට කමක් නැහැ මේ දරුවන්ගේ අනාගතය විනාශ කරන්න එපා කියලා .මම ඇහුවා ඇයි බන්ධනාගාරගත වුණේ කියලා. එතකොට කියනවා නෑ ග්‍රෑම් එක්ක තිබිල අහුවුණා. පොලීසිය ඒකට ග්‍රෑම් දෙකක් දලා ඒකයි මේ ඉන්නේ කියලා. ඔන්න කියන කථාව.
බන්ධනාගාරවල පවතින තත්ත්වය පිළිබඳව විෂය භාර ඇමතිවරිය වශයෙන් මම සතුටු වෙන්නෙ නැහැ. කිහිප දෙනෙක් නිලධාරීන් ඉන්නවා අවංකව කැප වෙලා වැඩ කරනවා. එක් කෙනෙක් දෙන්නෙක් ඉන්නවා විවිධ නරක දේවල්වලට සම්බන්ධව වැඩකරන අය. මේක අද මුදල් පසුපස හඹා යන ලෝකයක් බවට පත් වෙලා තිබෙනවා. කෙනෙකුගේ ජීවිතයක ඇති වටිනාකමක් පිළිබඳව දැනෙන්නේ නැහැ“
