බුස්ස බන්ධනාගාරයේ රදවා සිටින මොහොමඩ් නජීම් මොහොමඩ් හෙවත් කන්ජිපාන ඉම්රාන් (34) නැමැති අය රදවා සිටින බූස්ස බන්ධනාගාර කඳවුරේ සිරකුටියේ තිබී සොයා ගත් සිම්කාඩ් දෙක මිලදී ගත් අය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවත් විමර්ශන අවසන් වූ වහාම ඊට අදාලව නඩු පැවරීමට කටයුතු කරන බවත් රත්ගම පොලීසිය අද (09) ප්‍රකාශ කළේය.
සිම්කාඩ් දෙක මිලදී ගත් අය සම්බන්ධයෙන් මේ වන විට වැදගත් තොරතුරු රැසක් අනාවරණය වි තිබෙන බවද ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ රත්ගම පොලීසියේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
දරුණු ගණයේ අපරාධකරුවෙක් මෙන්ම දේශීය හා විදේශීය මත්ද්‍රව්‍ය කරුවෙක් වන මොහොමඩ් නජීම් මොහොමඩ් හෙවත් කන්ජිපාන ඉම්රාන් (34) නැමැති අය රදවා තිබෙන බුස්ස බන්ධනාගාරයේ සිර කුටියේ සිවිලිමේ සගවා තිබියදී ස්මාර්ට් ජංගම දුරකථනයක් ඇතුළු උපකරණ කිහිපයක් පසුගිය ජුනි 06 දින සවස සොයා ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් සිදු කරන ලද මෙම සෝදිසි මෙහෙයුමේදී කංජිපානි ඉම්රාන් රදවා සිටි සිරකුටියේ සිවිලිමේ සගවා තිබියදී ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයක්, සාමාන්‍ය දුරකථනයක්, සිම් කාඩ්පත් දෙකක්, දුරකථන චාජරයක් සහ හෑන්ඩ් ෆී උපකරණයක් මෙසේ සොයා ගෙන තිබුණි. මෙම දුරකථන හා උපාංග සූක්ෂම ලෙස සඟවා තිබූ බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
මෙයට පෙරද කංජිපානි ඉම්රාන් (34) නැමැති මෙම පාතාල රැදවියාට ලබා දිමට ජංගම දුරකථන දෙකක් හා චාජර් දෙකක් රැගෙන ආ බව කියන කන්ජිපාන ඉම්රාන්ගේ පියා ඇතුළු ඥාතීන් හය (06) දෙනෙකුද බූස්ස බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
එසේ අත්අඩංගුවට ගෙන තිබුණේ කන්ජිපානි ඉම්රාන් නැමැති අයගේ පියා වන මොහොමඩ් ඉම්රාන් මොහොමඩ් නසීම් (65), කන්ජිපාන ඉම්රාන්ගේ සොහොයුරා වන මොහොමඩ් නසීම් අබ්දුල් ෆාහීස් (27), කන්ජිපාන ඉම්රාන්ගේ ඥාතීන් වන මොහොමඩ් කුකුද්දීන් මොහොමඩ් වසීම් දීන් (28), මොහොමඩ් ඉස්පිකාර් මොහොමඩ් සෆ්රාස් (23), මොහොමඩ් ඉල්ෆාම් මොහොමඩ් අෆ්රිඩීන් (28) සහ මොහොමඩ් සාරුක් මොහොමඩ් ෆායිස් (26) යන හය (06) දෙනාය.
කොළඹ, මාලිගාවත්ත ප්‍රදේශයේ සිට පැමිණ තිබූ මොවුන් කන්ජිපානි ඉම්රාන් නැමැති අයට ආහාර රැගෙන ආ අසුරනයේ රහස් කුටියක සගවා තිබියදී ජංගම දුරකථන දෙකක් හා චාජර් දෙකක් බුස්ස බන්ධනාගාර වැටලිම් ඒකකයේ නිලධාරීන් විසින් 2019 සැප්තැම්බර් 12 දින දහවල් සොයා ගෙන තිබුණි.
පාතාල නායක සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත හෙවත් මාකදුරේ මධූෂ් (45) සමග ඩුබායිහිදී පැවති උපන්දින සාදයක සිටියදී ඩුබායි පොලීසිය විසින් 2019.02.05 දින මොහොමඩ් නජීම් මොහොමඩ් හෙවත් කන්ජිපාන ඉම්රාන් (34) අත්අඩංගුවට ගෙන තිබුණි. ඩුබායි පොලීසිය විසින් ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී සන්තකයේ තිබී ගංජා කිලෝග්‍රෑම් 5 යි ග්‍රෑම් 300ක්ද සොයා ගෙන තිබූ අතර ඩුබායි පොලිස් පරීක්ෂණ අවසානයේ 2019.03.28 දින කංජිපානි ඉම්රාන් ශ්‍රී ලංකාවට පිටුවහල් කළේය. එදිනම ඔහු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්විය.
පසුව කංජිපානි ඉම්රාන් කොළඹ අපරාධ කොට්ඨාසයේ රදවා තබාගෙන වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකල අතර ඔහුට අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සමග සමීප සබදතා තිබේද යන්න චෝදනාවක්ද එල්ල විය. ඒ සම්බන්ධයෙන් එවකට බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ විශේෂ පරීක්ෂණයක්ද පැවැත්විණි. කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් තිදෙනකු යාපනය, මුලතිව් හා මන්නාරම් පොලිස් ස්ථාන වෙත මාරු කෙරුණේද මෙම පරීක්ෂණයෙන් පසුවය. එයින් පසුව කංජිපානි ඉම්රාන් (34) බූස්ස බන්ධනාගාරයට මාරු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කළේය.
රත්ගම පොලිස් විශේෂ කාර්යය බලකා කදවුර, රත්ගම පොලීසිය හා බූස්ස බන්ධනාගාරය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
තමිදු මධුසර - අහුන්ගල්ල
