කුඩු නඩුවක විත්තිකරුවෙකු අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පෞද්ගලිකවම අධිකරණයේ පෙනී සිට කරුණු ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට අද (22දා) නියම කළේය.
ඒ බව දැනුම්දෙමින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නොතීසි නිකුත් කිරීමටද විනිසුරුවරයා වැඩිදුරටත් නියම කළේය.
කුඩු නඩුවක විත්තිකරුවෙකු අද (22දා) අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා මීට පෙර අවස්ථාවකදී බන්ධනාගාර අධිකාරිවරයාට නියම කොට තිබුණද, එම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී අදාළ විත්තිකරු බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කොට නොතිබිණි.
විත්තිකරු අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් අධිකරණයට වාර්තාවක් හෝ ඉදිරිපත් කොට නොතිබූ අතර, එහිදී ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් විනිසුරුවරයා විත්තිකරු අධිකරණයට ඉදිරිපත් කරන්නැයි දුන් අධිකරණ නියෝගය ක්රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් පෞද්ගලිකවම අධිකරණයේ පෙනී සිට කරුණු ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියම කළේය.