ශ්‍රී ලංකාවට කඩිනම් මූල්‍යාධාර සැපයීම රටේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය මත රඳා පවතිනු ඇති බව පවසන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ශ්‍රී ලංකාව විශ්වසනීය ණය සැලැස්මක් සංවර්ධනය කිරීම සඳහා ගත යුතුව ඇති ප්‍රමාණවත් පියවර කුමක්ද යන්න පිළිබඳව අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර තිබේ.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීමට මගපෙන්වීම සඳහා උපදේශකයන් පත් කිරීමට සති තුනකට ආසන්න කාලයක් ගතවනු ඇති බව පවසන මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා, එම ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් ආර්ථිකය යථාතත්ත්වයට පත්කර ගැනීමට අවශ්‍ය කඩිනම් මූල්‍යාධාර සපයාගත හැකිවනු ඇති බවට විශ්වාසය පළ කළේය.
එහිදී, දින 15 සිට 20 දක්වා කාලය තුළ මූල්‍ය හා නීති උපදේශකයන් තෝරා ගැනීමට රට ඉලක්ක කර ඇති බව මුදල් අමාත්‍යවරයා පවසා තිබුණේ, ඇමෙරිකා එක්සත් ජනපදයේ, වොෂිංටනයේදී, බ්ලූම්බර්ග් රූපවාහිනී සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
කෙසේ වෙතත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය නම් ශ්‍රී ලංකාව වෙනුවෙන් කලින් අරමුදල් මුදා හැරීම අනුමත කළ හැකි වුවද, එම මාවතේ පළමු පියවර වන්නේ රටට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ගෙවීම සැලසුම් කිරීම සඳහා උපදේශකයන් පත් කිරීමය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව වැනි සාම්ප්‍රදායික බහුපාර්ශ්වික ණය ලබාදෙන්නන්ගේ අවශ්‍යතා සපුරාලීමේදී, ඒවා ණය ලබාගන්නා රටේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණ සහ අනෙකුත් ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ සමග බැඳී පවතී.
ශ්‍රී ලංකාවේ විදේශ සංචිත සිඳී ඇති පසුබිමක, ශ්‍රී ලංකාවේ බාහිර ණය ගෙවීම් තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා කටයුතු කළේය. ඩොලර් හිඟයත් සමග මේ වනවිට රටේ ආහාර, ඉන්ධන සහ ඖෂධ හිඟයක්ද ඇතිවී තිබෙන බැවින්, මෙම අර්බුදය සමනය කිරීම සඳහා මේ වසරේදී ඇ.ඩො.බිලියන 4ක පමණ අරමුදල් ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව සඳහන් විය.
ඒ අනුව, ශ්‍රී ලංකාව ඉල්ලා සිටින මුළු අරමුදල්වලින් ඇ.ඩො.මිලියන 500ක් පමණ ඉදිරි මාස හය තුළ ආසියානු සංවර්ධන බැංකුවෙන් සහ ලෝක බැංකුවෙන් හදිසි ආධාර ලෙස ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව මුදල් අමාත්‍යවරයා කියා සිටියේය.
"අපගේ සාකච්ඡා ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ක්‍රමවත් වැඩපිළිවෙලක් සඳහා ඉදිරියට යාම වටා කේන්ද්‍රගත වී තිබෙනවා. අපට ණය ලබාදුන් ඇතැම් අය වෙත ඒ බව දන්වා තිබෙනවා. ඔවුන් හමුවීමට අප සූදානම්. කෙසේ වෙතත්, අපේ සැලසුම් නිවේදනය කර තවම සතියයි. මේ වනවිට අපි මූල්‍ය සහ නීති උපදේශකයන් පත්කිරීම සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටිනවා." යැයි අලි සබ්රි මහතා පැවසීය.
විශේෂයෙන්ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනක් සමග රටේ සිදුකළ යුතු ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණ සමග රාජ්‍ය ආදායම වැඩිකිරීමේදී බදු වැඩි කිරීමක් සිදුවිය හැකිද යන පැනයද බ්ලූම්බර්ග් සාකච්ඡාවේදී අමාත්‍යවරයා වෙත යොමුවිය.
"බදු වැඩි කිරීමක් කළ යුතුයි. නමුත් එය ක්රමාණුකූලව සිදුවිය යුත්තක්. මන්දයත්, රුපියලේ කඩාවැටීම හරහා ශ්‍රී ලාංකිකයන් දැනටමත් දැඩි පීඩනයකට ලක්ව සිටින බව පැහැදිලියි. අපි ශ්‍රී ලංකා රුපියල නම්‍යශීලීභාවයට පත්කරමින් ඩොලරය පා කරනු ලැබුවා. මේ සමග රුපියල 60%ක් 70%ක් පමණ බාල්දුවීමක් දකිනවා. ඒ නිසා ආහාර මිල ගණන් ඉහළ යමින්, උද්ධමනය ඉහළ ගොස් තිබෙනවා.
දැනට දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව අපේ බදු ආදායම 8.6%යි. එය 13%ක් -14%ක් දක්වා මධ්‍යකාලීනව ඉහළ නැංවිය යුතුයි. ඒ පිළිබඳව අප තේරුම් ගෙන සිටිනවා. එය කළ යුතු ආකාරය ගැන විවිධ පාර්ශ්ව සමග අප සාකච්ඡා කරමින් සිටිනවා" යැයි මුදල් අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ අතර, දැනටමත් වොෂිංටනයේදී ඉන්දියාව, ඇමෙරිකාව සහ ලෝක බැංකුව සමගම සාකච්ඡා කර ඇති බව පැවසූ මුදල් අමාත්‍යවරයා, එක්සත් ජනපදය, ජපානය, ඉන්දියාව සහ චීනය ඇතුළු පාර්ශ්ව සමග තවදුරටත් සාකච්ඡා කිරීමට සැලසුම් කරන බවද සඳහන් කළේය. විශේෂයෙන්ම චීනය ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන මිත්‍රයෙකු ලෙස චීනය සමග සිදුවන සාකච්ඡා ඵලදායී වනු ඇති බවද මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා විශ්වාසය පළ කළේය.
මුදල් අමාත්‍යංශයද ඊයේ (21දා) පෙන්වා දුන්නේ, අලි සබ්රි මහතා ප්රමුඛ දූත පිරිස එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ USAID හි නියෝජතයන් සමග මෙන්ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්යක්ෂ ක්‍රිස්ටලීනා ජෝජියේවා මහත්මිය සමගද පෙරේදා (20දා) සාකච්ඡා පැවැත්වූ බවය.
ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝගවලට මුහුණදීම සඳහා ගතයුතු ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග පිළිබඳව මෙම සාකච්ඡාවේදී ඉස්මතු වී තිබේ. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්යක්ෂ ගීතා ගෝපිනාත් මහත්මිය සමග පැවැත්වූ සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව මුහුණදෙන ආර්ථික අභියෝග කඩිනමින් විසඳීමට අවශ්‍ය යාන්ත්‍රණ සහ ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමුවූ බවද මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් පවසා සිටියේය.