ඉන්ධන මිල ඉහළ දැමීමේදී ජනතාව නොසලකා හැරීම නොකළ යුතු බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.
ඉන්ධන මිල වැනි සංවේදී විෂයක් ගැන තීරණ ගැනීමේදී සෑමවිටම ජනතාවගේ පැත්තෙන් සිතා තීරණ ගත යුතු බවත් ලාභ ලබන ආයතනයක් ලෙසට වඩා මහජන සේවා සපයන ආයතනයක් ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවත්වාගෙන යා යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ පසුගිය 11 වැනිදා ඉන්ධන මිල සංශෝධනය කිරීමෙන් පසුව පළමුවරට මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
පසුගිය වර ඉන්ධන මිල ඉහළ දැමීමට තමා එකඟ නොවූවේද මහජනතාවගේ පැත්තෙන් සිතා බව පැවසූ අමාත්‍යවරයා, මෙසේද පවසා සිටියේය.
“තෙල් සංස්ථාව පමණක් නෙමෙයි විදුලි බලමණ්ඩලය, ජල සම්පත් මණ්ඩලය වැනි ආයතන ලාභ ලබන ආයතන පමණක් ලෙසම ඉදිරියට ගෙන යාමට මම එකඟ වෙන්නේ නැහැ. මම කියන්නේ මෙවැනි ආයතන පාඩුවක් ලබනවා නම් එය ආයතනයේ පාඩුවකට වඩා මහජනතාවට ලබාදෙන ලාභයක් ලෙස, සහනයක් ලෙස අපි සැලකිය යුතුයි. පසුගිය අවස්ථාවේ ඉන්ධන මිල වැඩිකරන විට මම ඊට එකඟ නොවුණේ ඒ පදනමින්. යම්කිසි විදියකින් ඉන්ධන මිල වැඩි නොකිරීමෙන් සංස්ථාවට යම් පාඩුවක් වෙනවා නම් එය අපි භාරගනිමු කියන පදනමින්. ඒක විරෝධයක් නෙමෙයි. එකඟ නොවීමක්.
ඇත්ත වශයෙන්ම තෙල් ව්‍යාපාරයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පාඩුවක් නැහැ. අපිට පොඩි ලාභයක් තියාගෙන තෙල් විකුණන්න පුළුවන්. නමුත් ප්රශ්නය වෙලා තියෙන්නේ තෙල් මත පනවන බද්ද. බද්ද අඩුකළොත් තෙල් මිල අඩු කරන්න පුළුවන්. නමුත් එහෙම කියලා මේ බද්ද ඉවත් කිරීමේ හැකියාවක් ඇත්තෙත් නැහැ. මොකද රටේ ඉදිරි සංවර්ධන කටයුතු රැසකට මේ බදු මුදල හේතුවෙනවා. ඒනිසා තෙල් මිල සංශෝධනයට අකැමැත්තෙන් වුවත් කැමති වීමට කැබිනට් මණ්ඩලයේ අපිට සිදුවෙලා තියෙනවා. අපි ආණ්ඩුව ගත් අවස්ථාවට වඩා දැන් බොරතෙල්හි මිල වැඩියි. ඉදිරියේදී ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල පහළ යනු ඇතැයි අපි විශ්වාස කරනවා.”
