නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේදි බුද්ධාගමට ඇති ප්‍රමුඛස්ථාන යන වගන්තියේ එක් අකුරක්වත් වෙනස් නොකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
අද පෙරවරුවේදී මල්වතු හා අස්ගිරි මහානායක හිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
“අපි සියලු දෙනාම විශේෂයෙන්ම මම විපක්ෂයේ ඉන්න සමහර පක්ෂ සමගත් සාකච්ඡා කරලා එක්සත් ජාතික පක්ෂයත් එකඟ වෙලා තිබෙනවා ඕනෑම ව්‍යවස්ථාවක් සකස් කිරිමේදී හෝ සංශෝධනය කිරිමේදී දැන් තිබෙන අපේ 9 වැනි වගන්තිය, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම ගැන එක අකුරකින්වත් වෙනස් කරන්නේ නැහැ කියලා. ඒ වගෙ අපි ඒකීය රාජ්‍ය ආරක්ෂා කරනවා, ඒකීය රාජ්‍ය ඉදිරියට ගෙනියනවා. මේ කරුණු දෙකම අපේ මහානායක හිමිවරුන්ට දැනුම් දුන්නා.
ඒ වගේම ළඟදී බුදු පිළිම කිහිපයක් හානි කරලා තිබෙනවා. මම ඒ ගැන පොලීසියට දැනුම් දුන්නා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පිතිට භාර දුන්නා මේ ගැන තදින් ක්‍රියාත්මක කරන්න කියලා.
ඒකට සම්බන්ධ අන්තවාදීන් බොහෝ දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතරතුළදී හින්දු දේවාලකටත් හානි කරලා තියෙනවා. පොලීසිය කටයුතු අවසන් කරනවා කිව්වා. ඒ වගේම ඒ අයට විරුද්ධව සම්පූර්ණ ක්‍රියාමාර්ග ගන්න උපදෙස් දුන්නා. අඟලක්වත් සහනයක් දෙන්න එපා කියලා උපදෙස් දුන්නා.
ඒ හානි වුණ පිළිමවලට දේවාල වලට සම්පූර්ණයෙන්ම ආණ්ඩුව මුදල් දෙනවා ඒවා නැවත සකස් කරන්න.”