බංග්ලාදේශයේ, බ්රහ්මන්බාරියා දිස්ත්‍රික්කයේ ඉස්ලාමීය පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකුගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා එරට අගුලු දැමීමේ නියෝගය නොතකා 100,000කට අධික පිරිසක් සහභාගි වී තිබේ.
බංග්ලාදේශ අගමැතිනියගේ විශේෂ සහකාර ෂා අලි ෆර්හාඩ් සහ බ්රාහ්මන්බාරියා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඉම්ටියාස් අහමඩ් මෙය තහවුරු කර ඇත.
කොරෝනා වෛරසය පැතිර යාම හේතුවෙන් බංග්ලාදේශයේ අවමංගල්‍ය උත්සවයකට එකවර පුද්ගලයින් 5 දෙනෙකුට වඩා යාඥාවලට සහභාගි විය නොහැකි බවට වූ තහනම බිඳ දමමින්, ඉස්ලාමීය ගුරුවරියෙකු වන මවුලානා සුබයර් අහමඩ් අන්සාරිගේ අවමංගල්‍යය උත්සවය සඳහා මෙසේ විශාල පිරිසක් පැමිණීමෙන් නව කොරෝනා වෛරසය වේගයෙන් පැතිරෙනු ඇති බවට බලධාරීන් බිය පළ කර තිබේ.
අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා අවට ප්‍රදේශවලින් ඇවිදිමින් දස දහස් සංඛ්‍යාත ජනතාවක් බ්රහ්මන්බාරියා දිස්ත්‍රික්කයට යන මාර්ගවල පිරී ඉතිරී පැමිණි බව ඉස්ලාමීය පක්ෂයේ ඒකාබද්ධ මහලේකම් මොහොමඩ් මාමුනුල් හක් පවසයි.
එහිදී මෙම ජනතාව පාලනය කිරීමට පොලිසියට නොහැකි වීම නිසා ස්ථාන භාර පොලිස් ප්‍රධානියා සහ සහකාර අධිකාරීවරයා සේවයෙන් පහ කරමින් මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ත්‍රිපුද්ගල විමර්ශන කමිටුවක් පිහිටුවා ඇති බව බංග්ලාදේශයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක සොහෙල් රානා සඳහන් කරයි.
කොවිඩ්-19 හමුවේ සමාජ දුරස්ථකරණය මෙම වෛරසය පාලනය සඳහා වඩාත් යෝග්‍යතම ක්‍රමවේදය බව මේ වනවිට සනාථ වී ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය ප්රමුඛ විශේෂඥයන් විසින්ද එය නිර්දේශ කර තිබේ. එවැනි පසුබිමක මෙම පිරිස රටේ නීති නොතකා සිදුකර ඇති ක්‍රියාව මහා ව්‍යසනයකට අත වැනීමක් බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති. එමෙන්ම මෙහි පැමිණි පිරිසෙන් මුඛ ආවරණ පැළඳ සිට ඇත්තේ ඉතා සුළු පිරිසක් පමණක් වීමද තත්ත්වය තවදුරටත් ව්‍යාකූල කරනු ඇති බව ඔවුහු වැඩිදුරටත් පවසති.
බංග්ලාදේශයේ කොවිඩ්-19 වෛරස් රෝගීන් 2,456ක් වාර්තා වී ඇති අතර ඉරිදා වනවිට මරණ 91 ක් වාර්තා වී ඇත.