බංග්ලාදේශයේ පුද්ගලයන් 52දෙනෙකුට මරු කැඳවමින් ඇති වූ කර්මාන්තශාලා ගින්න සම්බන්ධයෙන් එම කර්මාන්ත ශාලාවේ හිමිකරුද බංග්ලාදේශ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එරට මාධ්‍ය පැවසුවේ අද (10දා) රඳවාගෙන සිටි පුද්ගලයින් 08 දෙනා අතර හෂෙම් ෆුඩ්ස් කර්මාන්ත ශාලාවේ හිමිකරු අබුල් හෂෙම් සහ ඔහුගේ පුතුන් සිව්දෙනාද වූ බවයි. පොලිසිය පවසන්නේ ඔවුන් සියල්ලන්ම මිනීමැරුම් චෝදනාවලට මුහුණ දෙනු ඇති බවය.
ගොඩනැගිල්ලේ ප්‍රධාන පිවිසුම අගුළු දමා තිබීම නිසා මියගිය බොහෝ දෙනෙක් ගොඩනැගිල්ල තුළ සිරවී සිට ඇති අතර, ඝාතනයට ලක්වූවන් අතර ළමයින්ද සිටි නිසා මෙම කර්මාන්ත ශාලාවේ ළමා ශ්‍රමය භාවිත කර තිබීම පිළිබඳ වෙනම පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද පොලීසිය කියයි.
බංග්ලාදේශ කම්කරු ඇමති මොන්නුජන් සුෆියන් ජාත්‍යන්තර මාධ්‍ය වෙත පැවසුවේ ඇය රෝහල් වෙත ගොස් දිවි ගලවා ගත් අය අතර සිටි 14 හැවිරිදි අයෙකුද හමුවූ බවයි. ඒ අනුව මෙම කර්මාන්ත ශාලාවේ ළමා ශ්‍රමය පිළිබඳ සනාථ වුවහොත් හිමිකරුවන්ට හා එහි පාලනාධිකාරියට ඒ සම්බන්ධයෙන්ද දැඩි දඬුවම් පමුණුවන බව ඇය කීවාය.
කෙසේ වෙතත් මෙම අත්අඩංගුවට ගැනීමට පෙර කර්මාන්ත ශාලවේ හිමිකරු බංග්ලාදේශ මාධ්‍යයට පැවසුවේ ඉවතලන සිගරට් කොට වැනි දෙයක් මගින්, කම්කරුවන්ගේ නොසැලකිලිමත්කම නිසා ගින්න ආරම්භ වී ඇතැයි විශ්වාස කරන බවය.
බංග්ලාදේශවේ කර්මාන්ත ශාලා තුළ මෙවැනි අනතුරු දුලභ නොවේ. මීට පෙර ගොඩනැගිලි කඩා වැටීම් ඇතුළු ඛේදවාචකයන් රැසක් එරටින් වාර්තා වී ඇත.