ඉරාකයේ අගනුවර වන බැග්ඩෑඩ් හි සෙනසුරාදා රාත්‍රියේ ඇති වූ දැවැන්ත රෝහල් ගින්නෙන් මියගිය සංඛ්‍යාව 82ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඉරාක අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.
ඉබ්නු අල්-කටිබ් රෝහලේ ඇති වූ ගින්නෙන් තවත් 110 දෙනෙකු තුවාල ලබා ඇති බව අමාත්‍යාංශ ප්‍රකාශක මේජර් ජෙනරාල් කලීඩ් අල් මුහානා පවසයි.
ගින්න හටගෙන ඇත්තේ ඔක්සිජන් ටැංකි පුපුරා යාමෙන් පසුව බව රෝහලේ ආරංචි මාර්ග පවසයි.
මෙම ගින්න හටගන්නා විට සිද්ධිය ඇසින් දුටු මුර්තාඩා රියාද්ගේ ආච්චි සහ නැන්දා රෝහලේ දෙවැනි මහලේ දැඩි සත්කාර ඒකකයේ වාට්ටුවේ සිටියහ. හදිසියේම පිපිරුම් හඬන් ඇසුණු විට ඔහු ආච්චිට බෙහෙත් ලබා ගැනීමට ගොස් සිට ඇත.
"මම නැවත රෝහල වෙත දිව ගියා. මම ඔවුන්ව බලන්න යන්න උත්සාහ කළා. නමුත් ඔවුන් මට කීවේ, 'එන්න එපා, ඔවුන්ව ඉවත් කරනවා' කියායි. නමුත් ඔවුන්ට එය කළ නොහැකි වුණා."
"මම උදව් කිරීම සඳහා රෝහලේ පළමු මහලට ගියත් එයද කළ නොහැකි වුණා. මමද හුස්ම සිරවී සිටියා. විශාල ගිනි ජාලවක් ඇති වුණා" රියාද් පැවසීය.
මිනිත්තු කිහිපයකට පසු සෞඛ්‍ය සේවකයින් සහ අසල්වැසි ස්වේච්ඡා සේවකයන් විසින් පිළිස්සුණු සිරුරු එකිනෙක ඉවත් කර තිබුණි.
ඉරාකයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව සෞඛ්‍ය සේවකයින් සහ සිවිල් ආරක්ෂක කණ්ඩායම් අවසානයේ රෝගීන් ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 200 ක් පමණ බේරා ගැනීමට සමත්ව තිබේ.