නයිජීරියානු ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත කණ්ඩායමක් වන බොකෝ හරාම් හි නායක අබුබකර් ෂෙකාවෝ සියදිවි නසාගෙන ඇති බව ප්‍රතිවාදී ඉස්ලාමීය සටන්කාමීන් විසින් හඬ පටයක් නිකුත් කරමින් කියා තිබේ.
ඉස්ලාමීය ත්‍රස්ත කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමකදී අබුබකර් බෝම්බයක් පුපුරුවාගෙන මියගොස් ඇති බව ඉස්ලාම් රාජ්‍ය බටහිර අප්‍රිකානු ත්‍රස්ත කණ්ඩායම විකාශය කළ මෙම හඬ පටයෙන් කියැවෙන බව විදෙස් වාර්තා පවසයි.
අබුබකර් ෂෙකාවෝ පසුගිය මාසයේදීද මියගිය බවට වාර්තා වූ අතර, මීට පෙරද ඔහු ඝාතනයට ලක්වූ බව කිහිප වරක්ම කියවුණි. කෙසේ වෙතත් බොකෝ හරාම් හෝ නයිජීරියානු රජය ඔහුගේ මරණය තවම තහවුරු කර නැත.
ඉස්ලාම් රාජ්‍ය බටහිර අප්‍රිකානු ත්‍රස්ත කණ්ඩායම නායක අබු මුසාබ් අල්-බර්නාවිගේ හඬින් කියැවෙන බවට පටිගත කර ඇති මෙම හඬ පටයෙන්, අබුබකර් බෝම්බයක් පුපුරා යාමෙන් ක්ෂණිකව සියදිවි නසාගත් බව කියයි.
අබු මුසාබ් වැඩිදුරටත් එහි පවසන්නේ තම සටන් කණ්ඩායම අබුබකර්ට යටත්වී තම කණ්ඩායම සමග එක්වීමට අවස්ථාව ලබාදුන්නත්, ඔහු (අබුබකර්) කැමති වූයේ පෘථිවියේ නින්දාවට පත්වීමට වඩා මරණින් මතු ජීවිතයේදී නින්දාවට පත්වීමට බවයි.
පසුගිය මාසයේ ඇති වූ ගැටුමකින්ද අබුබකර්ගේ මරණය පිළිබඳ වාර්තා සංසරණය වුවත්, එහිදී නයිජීරියානු හමුදාව කියා සිටියේ එය විමර්ශනය කරන බවයි. යුද හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජෙනරාල් මොහොමඩ් යෙරීමා පැවසුවේ සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව හමුදාව සොයා බලමින් සිටියද, නිශ්චිත සාක්ෂියක් ලැබෙන තුරු ප්‍රකාශයක් නිකුත් නොකරන බවයි.
කෙසේ වෙතත් නයිජීරියානු ආරක්ෂක ආයතන සමග සමීප සම්බන්ධතා ඇති එක් මාධ්‍යවේදියෙකු විදෙස් වාර්තා වෙත පවසා තිබුණේ, ඊසානදිග නයිජීරියාවේ සම්බීසා වනාන්තරයේ බොකෝ හරාම් කඳවුරකට ඉස්ලාම් රාජ්‍ය බටහිර අප්‍රිකානු ත්‍රස්ත කණ්ඩායම සිදුකළ පහර දීමකින් අබුබකර් මිය ගිය බවයි.
2009 දී බොකෝ හරාම්හි නිර්මාතෘ පොලිස් අත්අඩංගුවෙන් මියගිය පසු අබුබකර් ෂෙකාවෝ ඊසානදිග නයිජීරියාව විනාශ කළ මාරාන්තික කැරැල්ලකට නායකත්වය දුන්නේය. අබුබකර් ෂෙකාවෝ යටතේ බොකෝ හරාම් ත්රස්තයන් කලාපය පුරා බෝම්බ පිපිරවීම්, පැහැරගැනීම් සහ බන්ධනාගාර වෙත ප්‍රහාර එල්ල කිරීම් සිදුකළේය. ෂරියා නීතිය යටතේ ඉස්ලාමීය රාජ්‍යයක් බිහිකිරීමේ අරමුණින් 2014 සිට එය නයිජීරියාවේ නගර යටපත් කරමින් වැඩුණේය.
වයස අවුරුදු 40 ගණන්වල සිටි අයෙකු යැයි විශ්වාස කළ අබුබකර් ෂෙකාවෝ, ඔසාමා බින් ලාඩන් මාදිලියේ ම්ලේච්ඡ ප්රචාරක වීඩියෝ සමග ජිහාඩ් ව්‍යාපාරයකට සහාය දැක්වීය.
"මම ඝාතනය කිරීමෙන් සතුටක් ලබනවා. එය සිදුකරන්නේ කුකුළන් සහ බැටළුවන් මරා දැමීමට මා කැමති ආකාරයටයි" ඔහු 2012 වසරේ එක් වීඩියෝවකින් පැවසීය.
ඔහු ත්‍රස්ත සංවිධානයේ නායකත්වයට පත්වූ දා සිට මේ දක්වා 30,000කට අධික පිරිසක් මියගොස් ඇති අතර, මිලියන දෙකකට අධික පිරිසක් අවතැන් වී ඇත.
#BringBackOurGirls ව්‍යාපාරයට මුල පිරූ බෝර්නෝ ප්‍රාන්තයේ චිබොක්හි පාසලකින් 2014 වසරේදී සිය ගණනක් දැරියන් පැහැරගෙන යාමෙන් පසුව බොකෝ හරාම් ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත කණ්ඩායම ගෝලීය අවධානය දිනා ගත්තේය. එම දැරියන්ගෙන් බොහෝ දෙනෙකු තවමත් අතුරුදන්ය.
වැඩි කල් යන්නට මත්තෙන්, එක්සත් ජනපදය අබුබකර් ෂෙකාවෝ ගෝලීය ත්‍රස්තවාදියෙකු ලෙස ප්‍රකාශයට පත් කර ඩොලර් මිලියන 7ක ත්‍යාගයක් ඔහුගේ හිස මත තැබීය.