අපේ ආණ්ඩුව ධනවතුන්ට බදු ගසා දුප්පතුන්ගේ බදු අඩු කිරීමට පියවර ගත් බවත් එහෙත් වර්තමාන ආණ්ඩුව පොහොසතුන්ගේ බදු අයින් කොට දුප්පතුන්ට බදු ගසා ඇතැයි සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවැසීය.
කොත්මලේ මැතිවරණ කොට්ඨාසයේ සමගි ජන බලවේගයේ ක්‍රියාකාරීන් දැනුවත් කිරීමේ රැස්වීමකට එක්වෙමින් ඒ මහතා ඊයේ (16) මෙසේ පැවසීය.
එහෙදි තවදුරටත් අදහස් දැක්වු මද්දුමබණ්ඩාර මහතා ,
වර්තමාන ආණ්ඩුව ධනවතුන්ගේ බදු අඩු කොට දුප්තුන්ට බදු ගසා තිබෙනවා. පොඩි මිනිහගේ පරිප්පු ටිකකට සැමන් ටිං එකට රතුළුණු ගෙඩියට බදු ගහලා. ඒ විතරක් නෙවෙයි මේ මාස හයට රජය ගොවියා අනාථ කරලා තියෙනවා. ගොවියාට නියමිත වේලාවට පොහොර ටික දෙන්න බැරි ආණ්ඩුවක්. වි වලට සහතික මිලක් දෙන්න බැරි ආණ්ඩුවක් මෙන්ම හාල්වලට හරි මිලක් දෙන්න බැරි රජයක් බවට පත්වෙලා.
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය තමයි සන්ධානයක් හදන්න මුලින්ම අවසර දුන්නේ. සජිත් ප්‍රේමදාස මහතා නායකයා ලෙසත් මහලේකම්වරුයෙකු පත්කර ගැනීමටත් රනිල් වික්‍රමසිංහ මහතා තමයි ලියුම්වලට අත්සන් කලේ. අපි නෙවෙයි වරද්දා ගත්තේ ඔවුනුයි වරද්දගෙන ඉන්නේ. සමගි ජනබලවේගයට නාමයෝජනා දෙන්න එපා කිව්වා. කොහෙද ඉන්න කෙනෙක් අල්ලගෙන නඩුවක් දැම්මා. ඒකත් අධිකරණය විසි කරලා දැම්මා.
අපි හිතන්නේ අපේ ප්‍රතිවාදියා පොහොට්ටුව කියලයි. ගෝඨාභය රාජපක්ෂ මහතා ප්රමුඛ රාජපක්ෂලා කියලයි. අපේ සටන තියෙන්නේ ඒ අයත් එක්කයි. බහුතර ජනතාව අද ඉන්නේ අපි සමගයි. අද බෝඩ් ලෑල්ලකට අලියා ලකුණ සීමා වෙච්ච කණ්ඩායමක් බවට පත්වෙලා. වෘත්තීය සමිතිවල අය හා ගම්මානවල එක්සත් ජාතික පාක්ෂිකයන් අප වටේ එකතු වෙලා ඉන්නේ. වසර 26 ක් එපාවු නායකයෙක් දැන් හොඳ වෙන්නේ කොහොමද.
ජනාධිපතිවරයා අමාත්‍යංශවලට ලේකම්වරු පත්කර ගත්තා. එතුමාගේ අය දමා කාර්ය සාධන බලකායවල් පිහිටුවා ගත්තා. එතුමාගේ කණ්ඩායමට බලය ගන්නයි හදන්නේ. අපිට ආරංචියි ඇමැතිවරු අතර පමණක් නොවෙයි රාජපක්ෂ පවුලේ අය ඇතුලෙත් ප්‍රශ්න තියෙනවා යැයි පැවසීය.
ශාන් හුලංනුගේ / මස්කෙළිය ගාමිණි බණ්ඩාර
