ජංගම දුරකථනයක් සොරකම් කිරීමේ සිද්ධියකට අදාළව නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගෙන හෙට්ටිපොළ පොලීසියේ රඳවා වදහිංසා කළ හිටපු හමුදා සෙබලෙකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අදාළ හමුදා සෙබළාට රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක් ගෙවීමට හෙට්ටිපොළ පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයාට අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයාට හා රජයට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
කෲර වද හිංසනයට එරෙහිව ජාත්‍යන්තරයට සම්මුතිවලට පවා ශ්‍රී ලංකාව අත්සන් කර තිබියදී පොලිස් භාරයේ සිටින සැකකරුවන් හිංසනයට පත් වීමට සිදුවීම වැළැක්වීමට රජය ප්‍රායෝගික විසඳුම් ගැන අවධානය යොමු කළ යුතු බව අදාළ තීන්දුව ලබා දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කළේය.
විනිසුරු ප්රිමියන්ත ජයවර්ධන, එස්. තුරෙයි රාජා සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල අදාළ තීන්දුව ලබා දුන්නේය.
කුරුණෑගල හෙට්ටිපොළ පදිංචි සමන්ත පෙරේරා නමැති හිටපු හමුදා සෙබළෙකු විසින් ගොනු කර තිබූ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් හෙට්ටිපොළ පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ පොලිස් පරීක්ෂක සුමනසිරි සහ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ උපපොලිස් පරීක්ෂක සුමනවීර හා නීතිපතිවරයා නම් කොට තිබිණි.
පෙත්සම්කාර හමුදා සෙබලා නීත්‍යනුකූල අන්දමින් හමුදා සේවයෙන් ඉවත් වීමෙන් පසු ආයුර්වේද බෙහෙත් ශාලවක කම්කරුවෙකු ලෙස කටයුතු කරමින් සිටියදී පුද්ගලයකු විසින් 2013 වර්ෂයේදී කළ පැමිණිල්ලකට අනුව හේතුවක් නොදන්වා නීතිවිරෝධී ලෙස තමා අත්අඩංගුවට ගත් බවත්, එලෙස අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රඳවා තබාගෙන තමාට අමානුෂික අන්දමින් පහරදුන් බවත් ඔහු සිය මූලික අයිතිවාසිකම් පෙත්සමේ සඳහන් කොට තිබිණි.
ඉන් තමාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වූ බවට ප්‍රකාශයක් කොට තමන්ට වන්දි ලබාදෙන ලෙස පෙත්සම්කාර හමුදා සෙබළා අධිකරණයෙන් ඉල්ලා තිබිණි.
මේ සම්බන්ධයෙන් පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව පෙත්සම්කරුට පහරදී ඇති බව අධිකරණ වෛද්‍ය වාර්තාවෙන් සනාථ වී ඇති බවත්, පෙත්සම්කරු අදාළ සොරකම සිදුකළ බවට සාක්ෂි සොයාගැනීමට පොලීසියට හැකියාවක් ලැබී නැතැයිද තීන්දුවේ සඳහන් කළ අධිකරණය, පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි තීන්දු කළේය.
ඒ අනුව පෙත්සම්කරුට රුපියල් 50,000 බැගින් රුපියල් ලක්ෂයක වන්දි මුදලක් හෙට්ටිපොළ පොලීසියේ හිටපු ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක සුමනසිරි සහ එම පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ උපපොලිස් පරීක්ෂක සුමනවීරගේ පෞද්ගලික මුදලින් ගෙවීමට නියම කළ අධිකරණය, වගඋත්තරකර පොලිස් නිලධාරීන් රජයේ නියෝජිතයන් ලෙස කටයුතු කරමින් පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති හෙයින් ඔහුට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගෙවීමට රජයට නියම කළේය.
