ඓතිහාසික පාහියන්ගල ආරණ්‍ය සේනාසනයේ කැණීම් කිරීමෙන් මෙතෙක් හමුවී ඇති ප්රාග් ඓතිහාසික මෙවලම් සහ මානව ඇටසැකිලි පර්යේෂණ සඳහා යැයි පවසමින් විදෙස් රටවලට රැගෙන යන බවත් ,නැවත ඒවා ආපසු නොලැබෙන බවත් පාහියංගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ පවසති.
විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් අද (14) උන්වහන්සේ මේ බව සඳහන් කළේ 2007 වර්ෂයේ සිට මෙම ඓතිහාසික ලෙන් විහාරයේ සිදු කළ කැණීම්වලින් හමුවූ තොරතුරු පිළිබඳ වාර්තාවක් එළිදැක්වීම පදනම් කරගෙනය.
එම කැණීම්ව වලදී වසර දස දහසක් පමණ ඉපැරණි අවුරුදු 18ක පමණ තරුණියකගෙ සම්පූර්ණ ඇටසැකිල්ලක් ,සතුන් දඩයම් කිරීම සඳහා යොදාගත් මෙවලම්, ඇතුළු ප්රාග් ඓතිහාසික සාක්ෂි බොහොමයක් හමුවී ඇතැයි ද උන්වහන්සේ පැවසූහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් ,
" අප්‍රිකාවෙන් මෙපිට ඉතාම දියුණු මානව මෙවලම් මෙතෙක් හමු වී තිබෙන්නේ පාහියන්ගල ආරණ්‍ය සේනාසනයේ ලෙන් තුළින් සිදු කළ කැණීම් වලදීයි. 2007 වර්ෂයේ සිට වසර ගණනාවක් සිදුකළ කැණීම් වලදී හමු වී ඇති මානව ඇටසැකිලි , සතුන් දඩයම් කිරීම සඳහා යොදාගත් දුණු ඊතල ආදි දියුණු මට්ටමේ ආයුධ මෙහෙ හමුවී තිබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සහ ,ජර්මනියේ ,ඇමරිකාවේ පුරාවිද්‍යාඥයන් පිරිසක් එළිදක්වන ලද වාර්තාවේ සඳහන් වෙනවා. එම වාර්තාවලින් ද පැවසෙන්නේ අප්‍රිකාවෙන් මේපිට පැරණිතම සහ දියුණුම මෙවලම් හමු වී තිබෙන්නේ පාහියන්ගල ලෙන් විහාරයෙන් බවයි .
කැණීම් වලදී මෙසේ හමුවන පුරාවිද්‍යා සාක්ෂි විවිධ පුද්ගලයන් පර්යේෂණ යයි සඳහා පිටරටට යවනවා. නමුත් කවදාවත් ඒවා අපට ආපසු ලැබිලා නෑ .මේ පිළිබඳ පාහියංගල පුරාවිද්‍යා සංරක්ෂණ සංගමය විසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිතර කළ විමසීම් වලදී ලැබෙන පිළිතුර වන්නේ ඊමේල් මගින් එම තොරතුරු හුවමාරු වන බව පමණයි.
අපිට තේරෙන විදියට විදේශ රටවල් විසින් මෙම ඓතිහාසික මෙවලම් රැගෙන ගොස් ඔවුන්ගේ ඉතිහාසය නිර්මාණය කර ගැනීමට යොදා ගන්නා බවයි . එදා මෙදා තුර මේ රටේ සිදු කළ කැණීම් වලින් ලද පුරාවිද්‍යා සාක්ෂි අපේ අනාගත පරපුරට දැක ගැනීම සඳහා කිසිම ක්‍රමවේදයක් මේ රටේ සංස්කෘතික අමාතයාංශය හරහා සිදු වී නෑ . ඒවායේ සිටින ඇමතිවරුන්ට කිසිම දැක්මක් නැහැ .
එක එක කාලෙට යම් යම් පුද්ගලයන්ගේ උපාධි සම්පුර්ණ කර ගැනීම සඳහා යයි පවසමි න් මෙම ඓතිහාසික ස්ථානයේ කැනීම් සිදු කර සොයා ගන්නා ප්රාග් ඓතිහාසික මානව මෙවලම් පිටරටට පැටවීමෙන් කරන මේ මහා අපරාධය වහාම නතර කළ යුතුයි . තව දුරටත් මෙම ස්ථානයේ එවැනි කැණීම් සිදු කිරීමට අපි ඉඩ දෙන්නේ නෑ.
අපේ රටේ පුරාවිද්‍යා බලධාරීන්ගේ මා ඉල්ලා සිටින්නේ කරුණාකර මේ රටේ ඓතිහාසික ස්ථාන වලින් ලැබෙන පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් දේවල් පිටරට පර්යේෂණ සඳහා රැගෙන යන්නෙ නම් ඒ පිළිබඳ එහි ගොස් නිරතුරු අධීක්ෂණයෙන් සිටිය යුතු බවයි.
ඒ වගේම ඒ පර්යේෂණවලින් අනතුරුව ඒ සියලු දේවල් නැවත මේ රටට ගෙන ආ යුතුයි. ඒ වාගේම ඒවා අපේ අනාගත පරපුරට දැක ගැනීම සඳහා පාහියන්ගල ආරණ්‍ය සේනාසනයේම මානව කෞතුකාගාරයක් සාදවා තැන්පත් කළ යුතුයි.
එහෙම නැතුව එක එක්කෙනාගෙ උපාධි සම්පුර්ණ කරගැනීමට අප ප්‍රාග්ඉතිහාසය බිලි දීමට කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ .රජය විසින් වහාම මේ සම්බන්ධයෙන් ක්ෂණික ක්‍රියා මාර්ග ගතයුතුමයි.
