කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් වසා තබන ලද පාසල් නැවත ආරම්භ කිරීමෙන් පසු සිසුන් ප්‍රවාහනය සිදුකළ යුතු ආකාරය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ සහ ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සමස්ත ලංකා පාසල් වෑන් රථ හිමියන්ගේ සංගමය ඇතුළු පෞද්ගලික ප්‍රවාහන සංගම් නියෝජිතයන් රැසක සහභාගීත්වයෙන් ඊයේ (16) අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්විණි.
පවත්නා සුවිශේෂ වාතාවරණය හමුවේ සියලු සමාජ පාර්ශවයන් යම් පසුබෑමකට ලක්ව සිටින බවත්, ලාභ ඉපැයීම වෙනුවට පවත්නා සමාජ අවශ්‍යතාව කෙරෙහි ප්‍රමුඛතාව ලබාදෙමින් දරුවන්ගේ මානයෙන් ගැටලු දෙස අවධානය යොමු කළ යුතු බවත් මෙහිදී අධ්‍යාපන අමාත්‍යවරයා විසින් අවධාරණය කළ අතර, විශේෂයෙන්ම සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දී ඇති නිර්දේශවලට අනුගතව, පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීම ඇතුළු සියලු සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව පාසල් සිසුන් සඳහා ප්‍රවාහන පහසුකම් ලබාදීමට පියවර ගත යුතු බව ද පෙන්වා දුන්නේ ය.
ප්‍රවාහන සංගම් නියෝජිතයන් විසින් මෙම හමුවේදී ප්‍රධාන වශයෙන් මතු කළ කරුණක් වූයේ පාසල් නිමා කිරීම අවස්ථා තුනක දී සිදුකිරීම හේතුවෙන් දරුවන් රඳවා තබාගැනීමට සිදුවන කාලය පිළිබඳ ගැටලුව නිසා එම අවස්ථා ගණන දෙකකට සීමා කිරීම සම්බන්ධ යෝජනාවයි.
ආසන ප්‍රමාණයට පමණක් සිසුන් ප්‍රවාහනය, දුරස්ථභාවය පවත්වාගැනීම, වෑන් රථ තුළ විෂබීජහරණය, මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කිරීම වැනි සෞඛ්‍ය උපදෙස්වලට එකඟව කටයුතු කිරීමට සියලු ප්‍රවාහන සංගම් නියෝජිතවරු මෙහිදී එකඟත්වය පළ කළහ.
පාසල් විවෘත කිරීමේ තීරණය අදියර හතරකින් ක්‍රියාවට නැංවීම හරහා සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව සිසුන් ප්‍රවාහනය කිරීමේ ක්‍රියාවලිය සිදුකළ හැකි ප්‍රායෝගික මට්ටම අධ්‍යයනය කරන බවටද, ක්‍රියාත්මක කිරීමේ දී හඳුනාගැනීමට ලැබෙන ගැටලු අනුව, ප්‍රවාහන නියෝජිතයන්ගේ අදහස් හා යෝජනාවන් ද සලකා බලා අවශ්‍ය වෙනස්කම් සිදුකරන බවට ද මෙහිදී තීරණය වූ අතර, ප්‍රවාහන අමාත්‍යාංශයත් අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ව මේ සම්බන්ධයෙන් ඉදිරියේදී වැඩිදුරටත් සාකච්ඡා කොට තීන්දු තීරණ ගන්නා බවට ද, මෙම අභියෝගය දෙස දරුවාගේ පාර්ශවයෙන් සිතා දරුවා ප්‍රථම මිනුම් දණ්ඩ කරගනිමින් විසඳුම් ලබා දිය යුතු බවට ද මෙහි දී අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වැඩිදුරටත් පැවසීය.
මේ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එන්.එච්.එම්.චිත්‍රානන්ද මහතා, අධ්‍යාපන රාජ්‍ය ලේකම් රංජිත් චන්ද්‍රසේකර මහතා, ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න මහතා ඇතුළු මහත්ම මහත්මීන් රැසක් සහභාගී වූහ .
