නව ආණ්ඩුව පාර්ලිමේන්තුව විසුරුවා හරින ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය ලබාදීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පැවසීය.
ඒ මහතා මේ බව පවසා සිටියේ, බොරැල්ල ඇන්. ඇම්. පෙරේරා කේන්ද්‍රය අසලදී අද (25දා) මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.
එහිදී මාධ්‍යෙව්දීන් හා තිලංග සුමතිපාල මහතා අතර වූ සංවාදය පහතින් දැක්වේ.
මාධ්‍ය- රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා පවසනවා ඉරිදි පාර්ලිමේන්තු මැතිවරණයෙදී පොදුජන පෙරමුණ නමින් හා පොහොට්ටුව ලකුණින්ම ඉදිරිපත් විය යුතු බව,
තිලංග සුමතිපාල මහතා - අපි මුලින්ම සංවිධානයක් ලෙස කටයුතු කරන්න සිදුවෙනවා. පක්ෂ 17ක් අත්සන් කරලා තියෙනවා ඒ සංවිධානයට. ඊළඟ මැතිවරණයේදී විශේෂයෙන් අපි උතුරු නැගෙනහිර ගැන හිතන්න ඕන. මොකද එහි ජනතාව අපට ලබාදුන් ඡන්ද ප්‍රතිශතයේ යම් අඩුවක් තියෙනවා.
ඒ ගැන අපට අදහසක් උපක්‍රමයක් තියෙනවා. ඒ අනුව අපට තීරණය කරන්න වෙනවා සමහර දිස්ත්‍රික්කවල වෙන වෙන ලාංඡනවලින් ඉදිරිපත් වෙන්න. ජනතාවගේ සිතුම් පැතුම් අනුව ආකර්ෂණීය ලකුණකින් ඉරිදිපත් වෙන්න.
මාධ්‍ය - සමහර මන්ත්‍රීවරුන් තනතුරු නොලැබීම නිසා කලකිරීමෙන් ඉන්න බව අගමැතිවරයා සඳහන් කළා,
තිලංග සුමතිපාල මහතා - ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වියදම කපාහරින්න, නාස්තිය නතර කරන්න කියන තීන්දුව අරන් තියෙනවා. අපි හැසිරෙන විදිය අනුව තමයි ගමට පණිවිඩ යන්නේ. අපි ආදර්ශමත් වෙන්න නම්, යම් පරිත්‍යාගශීලී දේවල් කරන්න වෙනවා. කැපකිරීම් කරන්න වෙනවා. පෞද්ගලිකව තමන්ගේ තනතුරු තාන්න මාන්න ගැන හිතලා ජාතික නායකයෙක්ට ගමනක් යන්න අමාරුයි.
තව දෙයක් කියන්න ඕන, අපි ගිය වසරේත් උත්සාහ ගත්තා පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න. නමුත් එයට අධිකරණයෙන් අවසර ලැබුණේ නෑ. අපේ ආණ්ඩුව පාර්ලිමේන්තුව විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න තීරණය කළොත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස අපි සම්පූර්ණ සහයෝගය ලබාදෙනවා. 2/3ක බලයක් ලබාගන්න අවශ්‍ය අවස්ථාවේදී අපි සහාය වෙනවා. එමගින් ජනමතයට අවස්ථාව ලබාදෙන්න අපි සූදානම්.