මෙට්‍රෝ සමාගමට රු. බිලියනයක හිමිකම් ප්‍රාග්ධනයක්
මෙරට පොදු ප්‍රවාහන සේවාව නවීකරණය කිරීමේ අරමුණින් ස්ථාපිත කර ඇති ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් (පුද්ගලික) සමාගම වෙත රුපියල් මිලියන 1,067.5ක හිමිකම් ප්‍රාග්ධනයක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පරිපාලිත සමාගමක් ලෙස ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් (පුද්ගලික) සමාගම 2025 ඔක්තෝබර් 03 වැනිදා සංස්ථාපිත කරනු ලැබීය.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ වෙන් කළ අරමුදල් මඟින් මිලදී ගත් පහත් බස් රථ 10ක් යොදා ගනිමින් කොළඹ නාගරික ප්‍රවාහන නියමු මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, එහි වාණිජමය ශක්‍යතාව සහ මහජන පිළිගැනීම තහවුරු වී ඇති බව සඳහන් වේ.
ඒ අනුව, එළඹෙන සැප්තැම්බර් මාසයේදී තවත් පහත් බස් රථ 112ක් සේවයට එක් කිරීමට සමාගම සැලසුම් කර ඇත.
එම මෙහෙයුම් කටයුතු විධිමත්ව හා කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා ඒකල ප්‍රදේශයේ අංගසම්පූර්ණ මධ්‍යම වැඩපොළක් ඉදිකිරීම මෙන්ම තලංගම, කඩවත, රත්මලාන සහ හෝමාගම යන ප්‍රදේශවල නවීන බස් ඩිපෝ ඉදිකිරීම හා අභ්‍යන්තර මාර්ග සහ බස් නැවතුම් අංගන සංවර්ධනය කිරීම ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට නියමිතය.
ඒ අනුව, එම යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මෙම වසර තුළ රුපියල් මිලියන 800ක සහ 2027 වසරේ මෙහෙයුම් කටයුතු සඳහා තවත් රුපියල් මිලියන 267.5ක හිමිකම් ප්‍රාග්ධනයක් ලබාදීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
Next article: මුතුරාජවෙල පර්යන්තයේ නව ඉන්ධන ගබඩා ටැංකි තුනක් ඉදිකිරීමට අනුමැතියNext
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

