පළාත් සභා මැතිවරණය ජනවාරි මාසයේ පවත්වන බවට ආණ්ඩුව කරන ප්‍රකශය අසත්‍ය බවත්, පළාත් සභා මැතිවරණ පනත මේ වන විට අඩක් ගිල දැමූ කඩුවක් බවට පත්ව ඇති බවත් පිවිතරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිළ මහතා පැවසීය.
අද (31දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
“පළාත් සභා මැතිවරණය ජනවාරි මාසයේ පවත්වන බවට ආණ්ඩුව කරන ප්‍රචාරය බොරු. පුංචි ඡන්දය වගේ නොවේ, පළාත් සභා මැතිවරණය නම් නීති අවුලක හිර කරලා තිබෙන්නේ. දැන් පළාත් සභා මැතිවරණ පනත අඩක් ගිලපු කඩුවක් වගේ. අඩක් ගිලපු කඩුව තව දුරටත් ගිල්ලොත් උගුර කැපෙනවා. ඒ වගේම කඩුව එළියට අදින්න හැදුවොත් ඒත් උගුර කැපෙනවා.
පළාත් සභා මැතිවරණ පනතත් ඒ වගේ. කොට්ඨාස ක්‍රමය ඉදිරියට ගෙනියන්න නම් සීමා නිර්ණය කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයෙන් අනුමත කරන්න ඕනෑ. ඒ වගේම කොට්ඨාස ක්‍රමය අහෝසි කර පරණ ක්‍රමයට යෑමට නම් කොට්ඨාස ක්‍රමය හඳුන්වා දුන් නීතිය පාර්ලිමේන්තුවේ තුනෙනේ දෙකේ බහුතරයෙන් අහෝසි කළ යුතුයි.
මොකද කොට්ඨාස ක්‍රමය බිහි කරපු පනත තුනෙන් දෙකෙන් අනුමත කළ නිසා. ඒ නිසා දැන් පළාත් සභා මැතිවරණය කොට්ඨාස ක්‍රමය දිගේ ඉදිරියට ගෙනි යන්නත් බෑ. කොට්ඨාස ක්‍රමයෙන් පස්සට ගන්නත් බෑ.
මේ වන විට පාර්ලිමේන්තුව තුළ කොට්ඨාස ක්‍රමයට පක්ෂ හා විපක්ෂ ලෙස තියුණු බෙදීමක් තියෙනවා. එය මැති ඇමතිවරුන් දක්වන අදහස්වලින් පේනවා. කොට්ඨාස ක්‍රමය අහෝසි කර හෝ පළාත් සභා මැතිවරණය වහාම පැවැත්විය යුතුය කියන මතයේ අප ඉන්නවා.
පැරණි ක්‍රමයට පවත්වන්න කියන අපිට පාර්ලිමේන්තුවේ බහුතරය තිබුණත් තුනෙන් දෙක නෑ. අනිත් පැත්තටත් සාමාන්‍ය බහුතරය නෑ. කේවල් කරලා, තෑගි බෝග දීල, මැති ඇමතිකම් දීලා, සාමාන්‍ය බහුතරය හදා ගන්න පුළුවන් වේවි. ඒත් අපේ සහය නැතුව තුනෙන් දෙකක් හදා ගන්න කීයටවත් බෑ.” යැයි පැවසීය.
